මහ බැංකුව - අධිපති සහ ඇත්ත කතාව.


මහ බැංකුව යනු රටේ ජීවනාලිය වූ ආයතනයයි. එම නිසා මෙම ආයතනයේ සිදු වන සහ කියන කරන දෑ පිළිබඳව මහජනතාව උනන්දුවක් දැක්වීම පුදුමයට කාරණයක් නොවේ. පසු ගිය වසරකටත් වඩා කාලයක් පුරා මෙරට ජනමාධ්‍ය හරහා මහා බැංකුව පිළිබඳ පුවත් මැවුනේත් මහ ජනතාව අතර ඒවාට මහත් ප්‍රසිද්ධියක් හිමි වුණේත් මහා බැංකුව පිළිබඳ ජනතාව තුළ පවතින මේ උනන්දුව නිසාම ය.මහා බැංකුව පිළිබඳවත් විශේෂයෙන් එහි නව අධිපතිවරයා පිළිබඳවත් එසේ ප්‍රචාරයට පත් වූ එවැනි පුවත් බොහෝ මහජනතාව තුළ එම ආයතනය පිළිබඳ ඇති කරන ලද්දේ සුබවාදී පින්තූරයක් නොවූ බව නොරහසකි. මෙවැනි පුවත් අතරින් වඩාත්ම මහජන අවධානයක් හිමි කර ගන්නා ලද්දේ මහා බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ ඇති වූ ආන්දෝලනයයි.

මෙම ආන්දෝලනාත්මක ප්‍රචාරයන්වල ඇත්ත නැත්ත පිළිබඳ තුලනාත්මක විග්‍රහයක් කිසිදු මාධ්‍යයකින් සිදු නොවුන බවත් බොහෝ විට මෙම ප්‍රචාරයන් ඒකපාක්ෂික වූ බවත් මහා බැංකුව තුල සිටි අපි මෙම මුළු කාලය තුළ ම දුටුවෙමු. මහා බැංකුව විසින් ඉතාම පැහැදිලි සරල සත්‍යයන් මහා ජනතාව වෙත ගෙන යාමට දරන ලද මඳ උත්සාහයට පවා ජනමාධ්‍ය තුළ ප්‍රමාණවත් ඉඩකඩක් වෙන් නොවූ බව අපගේ හැඟීමයි.

මෙම තත්ත්වය තුළ තව දුරටත් මුනිවත රැකීමෙන් මෙම කීර්තිමත් ආයතනයට දිගින් දිගටම වන හානිය පිළිබඳ අප තුළ සංවේදීතවායක් ඇත. මහා බැංකුව සමඟ දීර්ඝ කාලීන බැඳීමකින් එහි තතු මනාව දැන සිටින පිරිසක් හැටියට මෙම තත්ත්වය තව දුරටත් ඉවසා සිටිය නො යුතුයැයි තීරණය කළ අපි අප දන්නා සත්‍ය මෙසේ හෙළි කිරීමට තීරණය කළෙමු.

පසු ගිය දිනවල ජනමාධ්‍ය තුළ ප්‍රචාරය වූ අසන දකින කෙනෙකුගේ සිතට නැගෙන හැඟීම වන්නේ මහ බැංකුව කිසිදු දූෂණයක් හෝ නාස්තියක් නැති තැනක් ව තිබී හිටි හැටියේම නව අධිපති තුමාගේ සම්ප්‍රාප්තියත් සමග දූෂිත හා නාස්තිකාර ආයතනයක් බවට පෙරළී ඇති බවයි. එහෙත් සත්‍ය එයට ඉඳුරාම වෙනස් බව තතු දත් අපි දන්නෙමු. උදාහාරණයක් ලෙස නව අධිපති තුමා පත්ව ඒමට පෙර මෑත අතීතයේ මහා බැංකුවට නව වසර උදා වූයේ මහා බැංකුවේ මාර්ග සිතියම (Road Map) එළි දැක්වීමට ජන මාධ්‍ය ද ඇතුළු ආරාධිතයන් සිය ගණනක් කැඳවා ආහාර පානාදියෙන් සංග්‍රහ කර පැවැත්වූ මහා මංගල්‍යයකිනි.

2015 ජනවාරි මස ජනාධිපතිවරණය අත ළඟ තිබියදී එවක රජයේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එම වසරේ මාර්ග සිතියම එළිදැක්වීමට පවත්වන ලද උත්සවය සඳහා බැංකුව වැය කළ මුදල රුපියල් මිලියන ගණනකි.

ආයතනයේ ඉදිරි දැක්ම මහ ජනතාවට දැනුම් දීම ඉතා යහපත් කාරණයක් වුවත් ඒ සඳහා දරන ලද මේ මහා වියදම සාධාරණ එකක් ලෙස අනුමත කළ හැකියි අපි නොසිතමු. එසේම, මූල්‍ය ක්ෂේත්‍රයේ ගෞරවය දිනා සිටි පුද්ගලයෙකු ද මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකුද වූ එවක මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා එම උත්සවයට සහභාගි වෙමින් රටේ අනාගතය සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය නම් ළඟ එන ජනාධිපතිවරණයේ දී මහින්ද රජපක්ෂ මහතාට ඡන්දය දෙන ලෙස පැවසීමෙන්ම එම යුගයේ මහා බැංකුව කෙතරම් දේශපාලනීකරණය වී තිබුණේ දැයි වටහා ගත හැකිය.

එකල මහා බැංකුව විසින් ඇති විශාල වියදමක් දරා පවත්වන ලද තවත් එවැනි මහා මංගල්‍යයක් වූයේ මහා බැංකුවේ වාර්ෂික වර්තාව මුදල් ඇමැතිවරයා ද වූ එවක ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සඳහා වසරක් පාසා පවත්වන ලද උත්සවයයි.

2007 වසරට පෙර මේ සඳහා පැවැති සම්ප්‍රදාය වූයේ මහා බැංකු අධිපතිවරයා සහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙකු මුදල් අමාත්‍යවරයා ඔහුගේ කාර්යාලයේදී හමුවී මෙම වාර්තාව බාර දීම වුවත්, 2007 සිට එවකට සිටි අධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරය ද දැරූ ජනාධිපති වරයා මහා බැංකුවට ආරාධනය මහත් වියදමක් දරා පැවැත්වීම ආරම්භ කළ වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ උත්සවය ද මහා බැංකුවට මිලියන ගණනාවක වැය බරක් වූ අතර, ජනාධිපතිවරයා ඊට සහභාගී වීම නිසා කරන ලද ආරක්ෂක පරීක්ෂාවන් හේතුවෙන් සේවකයන් ට දරන්නට වූ හිරිහැරයද සුළු පටු නොවේ.

නව අධිපතිවරයා පත්වීමට පෙර වකවානුවේ මහා බැංකුවේ වාර්ෂිකව මහත් උත්කර්ෂයෙන් සමරන ලද අවස්ථාවක් වූයේ මහා බැංකුවේ උපාය මාර්ගික සැලසුම සමාලෝචනය යි. ඒ සඳහා මාස ගණනක් තිස්සේ බැංකුවේ අනෙකුත් කාර්යයන් අතපසු කරමින් කරන ලද සූදානමේ කුටප්‍රාප්තිය වූයේ එවක අධිපතිවරයා, නියෝජ්‍ය අධිපතිවරු සහකාර අධිපතිවරු අධ්‍යක්ෂවරු සහ අනෙකුත් නිලධාරීන් පිරිවරාගෙන කොළඹින් පිට පළාතක තරු පහේ හෝටලයක දවස් තුනක් තිස්සේ පවත්වන සියල් සරින් සපිරි සාදයයි.

මහා බැංකුවේ නිලධාරීන් කෑම සතිය ලෙස හඳුන්වන ලද මෙම සාදය සඳහා 2013 සහ 2014 වසර දෙකෙහි පමණක් දරන ලද වියදම් අනුපිළිවෙළින් රුපියල් මිලියන 5.5 ක් සහ 6.0 ක් විය. මෙම වියදමට නිලධාරීන්ගේ වැටුප්, අතිකාල ගෙවීම් ගමන් වියදම් වාහනවල ඉන්ධන පිරිවැය ඇතුළු නොවේ.

මහා බැංකුවේ කොයි කවුරුත් දැන සිටින ඉහත සාදයන්ට අමතරව මහා බැංකු අධිපති වරයාගේ නිල නිවසෙත් මහ බැංකු කාර්යාල ගොඩනැගිල්ලේ අධිපතිවරයා වෙනුවෙන් තිබෙන භෝජන ශාලාවේත් එවක අධිපතිවරයාගේ දේශපාලන සහ ව්‍යාපාරික හිතමිතුරන් වෙනුවෙන් දින පතා පවත්වන ලද ප්‍රිය සාදයන් වෙනුවෙන් වැය කරන ලද මුදල අති විශාලය. අද රටේ ඇති වී තිබෙන නිදහස් වාතාවරණයතුළ මහා බැංකුව ගැන අභූත චෝදනා පවා නැගීමට ඇතැමුන් පෙළඹී ඇතත් එදා පවතින තත්ත්වය තුළ කිසිවෙක් මේවා ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකළ බැවින් මහා ජනතාවට මේ යථාර්ථය දැන ගැනීමට අවස්ථාවක් නොතිබුණි.

වර්තමාන අධිපති වරයා පත් වීමෙන් පසු පළමු මාසය තුළම මහා බැංකුවට එරෙහිව බැඳුම්කර වංචාවක් පිළිබඳ චෝදනා නැගුන අතර අධිපතිවරයා විසින් මෙහි සැබෑ තත්ත්වය මහා ජනතාවට වටහා දීමට මාධ්‍ය සාකච්ඡා කීපයක් තුළින් උත්සාහ දරන ලදී. කෙසේ වෙතත් ඒ සියලු පැහැදිලි කිරීම් නොතකා හරිමින් දිගින් දිගටම “මහා බැංකු බැඳුම්කර වංචාව” වශයෙන් එම බැඳුම්කර නිකුතුව හඳුන්වමින් මහා බැංකු අධිපති වරයා ඉලක්ක කර මාධ්‍ය තුළින් ගෙන යන ප්‍රචාරය දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයක් යැයි සිතීමට ඇති ප්‍රබල හේතුවක් වන්නේ මෙම ප්‍රචාරයේ යෙදෙන්නවුන් ඔවුන් සඳහන් කරන “වංචාව” සිදු කර ඇති ආකාරය පිළිබඳ කිසිදු විධිමත් ශාස්ත්‍රීය විශ්ලේෂණයක් සිදු කර නැති වීම යි.

එපමණක් නොව ඔවුන් බැඳුම්කර පිළිබඳ ප්‍රාථමික අවබෝධයක් වත් නොමැති අය බව ඔවුන් කියන ලියන දෑ දුටුවිට පැහැදිළි වේ. මහා බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන අ ත්දැකීම් ඇත්තවුන් හැටියට අප දන්නා කරුණ නම් මෙවැනි සිද්ධි බැඳුම්කර නිකුත් කරන අවස්ථාවලදී ඇතැම් විට සිදු වන, මෙයට පෙර අවස්ථාවලදීද උද්ගත වූ තත්ත්වයන් බව යි. ඒවා සාමාන්‍යයෙන් බැඳුම්කර නිකුතුවට අදාළ ඉල්ලුම සහ සැපයුම පදනම් කරගත් වෙළඳපොළ තත්ත්වයන් මත පදනම් වේ. කෙසේ වුවත් මේ පිළිබඳ ඇති වූ පදනම් විරහිත ප්‍රචාරයන් නිසා මහා බැංකුවේ කීර්ති නාමයට නම් මහත් හානියක් සිදු වී ඇත.

මේ ප්‍රචාරයන් හේතුවෙන් වර්තමාන අධිපතිවරයා සම්බන්ධයෙන් මහා ජනතාව අතර අප්‍රසාදයක් ඇති වී ඇතත් වර්තමාන අධිපතිවරයා යටතේ මහා බැංකුව තුළ අප දකින්නේ වඩා සුබවාදී පින්තූරයකි. වර්තමාන අධිපති වරයා මහා බැංකුව තුළ පැවතී ඉහත කී සහ නොකී සියයකුත් එකක් නාස්තිකාර කටයතුවලට තිත තැබීමට කටයුතු කිරීම එයට හේතුවයි.

2014 වසරේ රුපියල් මිලියන 6.0 ක් ඉක්මවා වැය කළ මහා බැංකුවේ උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීමට වර්තමාන අධිපතිවරයා වැය කළේ රුපියල් 25,000ක් පමණකි. එයද, උපාය මාර්ගික සැලැස්ම මහා බැංකු මුද්‍රණාලය තුළ මුද්‍රණය කිරීම සඳහා ය. නව අධිපතිවරයා පසුගිය වසරේත් මේ වසරේත් මහා බැංකු වාර්තාව පිළිගැන්වීම මුදල් අමාත්‍ය වරයාගේ කාර්යාලයට ගොස් සිදු කිරීම නිසා තවත් රුපියල් මිලියන ගණාවක් ඉතිරි විය. මහා බැංකුව ඉදිරිපිට සාටෝප සේද කොඩි වැල් ලෙලදෙනු දැකීමට ඔහු උනන්දුවක් දක්වන බව පෙනෙන්නට නැත. දිනපතා මහා බැංකු අධිපති නිල නිව‍සෙත් මහා බැංකු මූලස්ථානයේත් එකල පැවත්වුණු සාද දැන් දකින්නට නැත.

එහෙත් වර්තමාන අධිපතිවරයා යටතේ මහා බැංකු සේවකයන්ට වඩා තෘප්තිමත් හා සුරක්ෂිත සේවා තත්ත්වයක් නම් හිමි වී ඇත. දශක එකහමාරක් තිස්සේ මහා බැංකු සේවකයන් සටන් වැද ඉල්ලා සිටි නවක සේවකයන්ගේ විශ්‍රාම අයිතිය ඔහු විසින් ලබා දෙන ලද අතර සාමූහික ගිවිසුම් සාකච්ඡා සේවක තෘප්තියට හේතු වන පරිදි ඉතා ඉක්මණින් අවසන් කර ගිවිසුම්වලට එළඹීමට කටයුතු කරන ලදී. මහා බැංකුවේ විශ්‍රාමිකයන්ගේ දශක දෙකකටත් වඩා නිරාකරණය නොවී පැවති වැටුප් විෂමතා නිවැරදි කර වර්තමානයට ගැළපෙන පරිදි විශ්‍රාම වැටුප් යාවත්කාලීන කරන ලදී.

මහා බැංකු බෝම්බයෙන් තුවාල ලබා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වන ලද සේවකයන්ගේ දීර්ඝ කලක් නොවිසඳී පැවැති ගැටලු රාශියක් නිරාකරණය කෙරුණි. වර්තමාන අධිපතිවරයා යටතේ මහා බැංකුවේ කාර්මික සාමය ඉතා මැනවින් ආරක්ෂා වී ඇත්තේ ඔහු සේවක ගැටලු සහ සුබසාධනය දෙස බලන මෙම සුබවාදී ආකල්පය නිසා ය. මහා බැංකු අධිපතිවරයා පිළිබඳ ඉතා අඳුරු චිත්‍රයක් මැවීමට ඇතැම් අය උත්සාහ කළත් මහා බැංකුවට මැත කාලයේ පත් වූ වඩාත් හසළ ආර්ථිකවිද්‍යා දැනුමකින් හා පරිචයකින් යුත් අධිපතිවරයා ඔහු බව අවිවාදිතය.

වර්තමාන මහා බැංකු අධිපතිවරයා විසින් මහා බැංකුව මහජන යහපත සලසන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කිරීම් අප දකින්නේ අගය කළ යුතු සහ සුබවාදී ලක්ෂණයක් ලෙස ය.මහා බැංකුව වඩාත් මහජනතාවට සමීප කරලීමට සහ කොළඹින් දුර බැහැර පළාත්වල සංවර්ධනය වේගවත් කරලීමට 80 දශකයේ ආරම්භ කරන ලද මහා බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල මෑත යුගයේ නොසලකා හැර තිබුණ බව නොරහසකි.

නමුත් වර්තමාන අධිපතිවරයා නුවරඑළියේ සහ කිලිනොච්චියේ නව ප්‍රාදේශීය කාර්යාල විවෘත කරමින් ප්‍රාදේශීය සංවර්ධන කාර්යය පුළුල් කිරීමට කටයුතු කිරීම ඔහු කර ඇති වටිනා කාර්යයකි. නුවරඑළිය නව ප්‍රාදේශීය කාර්යාලය නිසා එම ප්‍රදේශයේ වතු කම්කරු ජනතාවට සැලසී ඇති සෙත අපමණ බව පසුගියදා එහි ගිය අපි දුටුවෙමු.

සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් මුදලින් 30%ක් නිවාස ණය වශයෙන් මුදා හැරීමට ගන්නා ලද තීරණය නිසා හිසට වහලක් ඉදි කර ගැනීමට සිහින දකිමින් සිටි ජනතාවට එය තව දුරටත් සිහිනයක් නොව යථාර්ථයක් බවට පත් කර ගැනීමට අවස්ථාව සැලසී ඇත. මෙම ණය මුදා හැරියද අර්ථසාධක ප්‍රතිලාභියාට නොවෙනස්ව 11% පොලී ප්‍රතිශතයක් හිමි වීම වැඩ කරන ජනතාවට හිමි වූ තවත් සහනයකි.

තවත් ප්‍රසංසා කටයුතු කරුණක් වන්නේ පසුගිය කාලයේ මහජනතාව අපහසුතාවට පත් කළ මාරු කාසි හිඟය මග හරවාලීමට නව අධිපතිවරයා අවධානය යොමු කිරීම ය.

මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී කලින් පැවැති පුද්ගලික ව එකඟ වූ අනුපාත මත බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය අත්හැර වෙළඳපොළ මත පදනම්වූ වෙන්දේසි ක්‍රමවේදය වෙත පමණක් යොමු වීමද නව අධිපති වරයා විසින් ගන්නා ලද සාධනීය පියවරක් සේ අගය කළ යුතු වුවත්, අවසානයේ සිදු වූයේ ඒ සම්බන්ධයෙන් අධිපති වරයා විශාල වශයෙන් දෝෂ දර්ශනයට ලක් වීමත් මහා බැංකුව විශාල කීර්ති හානියකට ලක් වීමත් ය. මේ සම්බන්ධයෙන් අධිපතිවරයාත් මහා බැංකුවත් අවස්ථා ගණනාවක දී කරුණු පැහැදිළි කර තිබුණි.

මහා බැංකුවට මහජනයා සහ සේවකයන් සම්බන්ධයෙන් සාධනීය දැක්මක් සහිත අධිපති වරයෙකු පත් වී ඇති අවස්ථාවක ඔහුගේ එම දැක්ම සහ ඔහු සතු පෘථුල ආර්ථික විද්‍යා දැනීම රටේ යහපතට යොදා ගැනීම වෙනුවට ඔහු ඉලක්ක කරගෙන පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මඩ ප්‍රහාර එල්ල කර රටේ ආර්ථිකයේ මුදුන් මල්කඩ වූ මහා බැංකුව අපකීර්තියට පත් කිරීම ගැන අපි කනගාටු වෙමු. එහෙත් පදනම් විරහිත අවලාදයන් නිෂ්ප්‍රභා වී සත්‍ය හෙළිදරවුවන මොහොතක් ඉක්මණින්ම එළඹෙන බව විශ්වාස කරන අපි අපගේ කීර්තිමත් ආයතනය සහ එහි වර්තමාන නායකත්වය පිළිබඳ අපගේ අචල විශ්වාසය තව දුරටත් එලෙසම පවත්වාගෙන සිටිමු.

කොතෙක්් වෙහෙස ලදුවත් සුදනෝ පවර
උදත් ලොව සතුන් සිත දුක් කෙරෙති දුර
පසක් රාහු මුව පත් වෙමින් බියකර
අනෙක් පසින් ලොව හෙළි කෙරෙය හිමකර 

කොතරම් කරදරයට පත් වුවත් යහපත් මිනිස්සු අනෙක් මිනිසුන්ගේ දුක් දුරු කිරීමටම කටයුතු කරති. එක අර්ධයක් රාහුගේ ග්‍රහණයට පත්ව සිටියදීත් සඳ අනෙක් අර්ධයෙන් ලෝකය එළිය කරන්නාක් මෙනි - සුභාෂිතය) 

මහා බැංකු සේවක පිරිසක් 

Share on Google Plus