උතුරු නැගෙනහිර පිළිකා යන්ත‍්‍ර කොට උඩ - බාල බඩු ගේන්න ශිරන්තිත් ගෑවිලා.



පිළිකා රෝගීන්ට විකිරණ ප‍්‍රතිකාර ලබා දීම සඳහා මෙරටට ගෙන්වූ විකිරණ යන්ත‍්‍ර තුනෙන් යාපනයට සහ මඩකලපුවට යැවූ යන්ත‍්‍ර දෙක පාවිච්චියට ගත නොහැකිව අතහැර දමා ඇතැයි වාර්තා වේ.

පසුගිය ආණ්ඩු සමයේ Linear Accelerator Machine නම් මෙම යන්ත‍්‍ර තුන ගෙන්වීම සඳහා ශිරන්ති රාජපක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු ද සම්බන්ධ වී ඇත.

ඔවුන් විසින් මෙම විකිරණ යන්ත‍්‍ර ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සියෝල් නම් පෞද්ගලික සමාගමකට අවස්ථාව ලබා දී ඇත. යන්ත‍්‍ර 15ක් ගෙන්වීම සඳහා මෙම නිලධාරීන් විසින් අනුමැතිය ලබාගෙන ඇතත් දැනට ගෙන්වීමට හැකි වී ඇත්තේ ත‍්‍රිත්ව බල යන්ත‍්‍රයක් සහ ද්විත්ව බල විකිරණ යන්ත‍්‍ර දෙකක් පමණි. මීට මාස තුනකට පමණ පෙර මෙරටට ලැබුණු මෙම එක යන්ත‍්‍රයක මිල ඩොලර් මිලියන 04 ක් පමණ වන බව පැවසේ.

මෙම යන්ත‍්‍ර තුනෙන් එකක් මහරගම පිළිකායතනයටත් එකක් මඩකලපුව ශික්ෂණ රෝහලට සහ අනෙක යාපනය තෙල්ලිප්පලෙයි මූලික රෝහලටත් යවා ඇත. මහරගම පිළිකා රෝහල මෙම එක් යන්ත‍්‍රයක් දැනට භාවිත කරමින් පැවතියත් අනෙක් යන්ත‍්‍ර දෙක පාවිච්චියට ගත නොහැකිව පවතින්නේ තාක්ෂණික ගැටලූ කිහිපයක් උද්ගත වීම හේතුවෙනි. උදාහරණයකට මෙම යන්ත‍්‍ර සවිකිරීම සඳහා බංකර් නමැති කාමර විශේෂයක් අවශ්‍ය වුවත් එය නිසි ප‍්‍රමිතියට ඉදිකිරීමට මේ වන විට අසමත්ව ඇත. මෙම බංකර් නිර්මාණය කිරීමේ දී විකිරණ පිටතට නොයන පරිදි බිත්ති මීටර් 1ක් පමණ ඝනකමකින් යුතුව නිර්මාණය කළ යුතු වේ.

මීට අමතරව වායුසමීකරණ පහසුකම් සැපයීම ද අත්‍යවශ්‍ය වන බව පැවසේ. නමුත් එම පහසුකම් සඳහා අවශ්‍ය ඉඩකඩ බංකර් ඉදිකිරීමේ දී සාදා නොමැත. මේ හේතු නිසා එකක් රුපියල් මිලියන 70ක් පමණ පිරිවැයක් යොදමින් මඩකලපුවේ සහ යාපනය තෙල්ලිප්පලෙයි ඉදිකළ බංකර් දෙක පාවිච්චියට ගත නොහැකිව පවතියි. එසේම මෙම හේතු නිසා එම පළාත්වල රෝගීන්ට ප‍්‍රතිකාර සඳහා කොළඹ පැමිධෑමට ද සිදුව ඇත.

දැනට යන්ත‍්‍ර පැමිණ නැතත් ගාල්ල කරාපිටිය රෝහලේ සහ මහනුවර රෝහල්වල ඉදිකර ඇති බංකර්වල තත්ත්වය ද එසේම බව වාර්තා වේ. මහරගම පිළිකා රෝහලේ සවිකර ඇති යන්ත‍්‍ර ත‍්‍රිත්ව බල විකිරණ යන්ත‍්‍රයකි. නමුත් පිළිකා සම්බන්ධ විශේෂඥයන්ගේ අදහස වී ඇත්තේ මෙම ගෙන්වූ යන්ත‍්‍ර අතරින් ත‍්‍රිත්ව බල යන්ත‍්‍රය අපේ රටට නුසුදුසු වන්නක් බවයි. එයට හේතුව අපේ රටේ මිනිසුන්ගේ ශරීර ප‍්‍රමාණය අනුව එම යන්ත‍්‍රවල බලය වැඩි නිසා ප‍්‍රතිකාර සිදු කිරීමේ දී රෝගීන්ගේ නිරෝගී පටකවලට ද හානි වීමට ඉඩකඩ පැවතීමයි. මීට අමතරව මෙම විකිරණ යන්ත‍්‍ර ගෙන්වීමට පෙර පරමාණුක බලශක්ති අධිකාරියෙන් අවසර ලබා ගැනීම අනිවාර්ය වුවත් එවැනි අවසරයක් ලබාගෙන නොමැත.

මෙම යන්ත‍්‍ර ගෙන්වීම සඳහා මහරගම පිළිකායතනයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පුද්ගලයකු වූ වසන්ත ජයවර්ධන සහ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේ ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන එස්. ඒ.ජේ. කරුණාතිලක යන පිරිස මැදිහත්ව ඇති බව අනාවරණය වී ඇත. මේ තිදෙනා මෙම යන්ත‍්‍ර ගෙන්වීම හරහා විශාල මුදල් සම්භාරයක් යටි මඩි ගසා ඇති බවට පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණිල්ලක් ලැබී ඇතැයි පැවසේ.

මෙම වසන්ත ජයවර්ධන නමැත්තා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ අයෙකි. මොහුව පත්කර ඇත්තේ නුවරඑළිය ප‍්‍රදේශයේ රෝහල් ව්‍යාපෘතිය අධීක්ෂණය සඳහා වුවත් පසුව ඔහු රටේ අනිකුත් ප‍්‍රදේශවල ද ව්‍යාපෘති සඳහා මැදිහත්වීම් සිදු කරමින් වංචා දූෂණ රැසක නිරතව ඇත. කෙසේ වෙතත් මෙම තොරතුරු හෙළි වීමත් සමඟ වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහුව ධුරයෙන් පහ කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

එහෙත් එස්. ඒ.ජේ. කරුණාතිලක නමැත්තා තවමත් උතුරුමැද සහ වයඹ පළාත්හි වෛද්‍ය උපකරණ ටෙන්ඩර් ලබා දීම සම්බන්ධ කමිටුවේ මූලිකත්වය දරමින් සිටියි. ඔහු එම බලතල යොදා ගනිමින් පෞද්ගලික සමාගම්වලට වංචාසහගත ලෙස ටෙන්ඩර් ලබාදීම හරහා කොමිස් කුට්ටි ගනිමින් සිටින බව හෙළි වී ඇත. ඔහු එම තනතුරට කෙසේ පත්වූවාදැයි කිසිවකු නොදැන සිටීම ද විශේෂත්වයකි.

මීට අමතරව මෙම පුද්ගලයා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ අනුමැතියෙන් තොරව නිතර නිතර විදේශ සංචාරවල යෙදීම හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් සහ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබ ඇත.

- සිතාරා කුලරත්න

Share on Google Plus