බැසිල්ගේ ගෙවල්වලට අද්භූත හිමිකරුවෝ.


හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් එම රජය සමයේ දී පිරිවැය දරන ලද නිවාස හා ගොඩනැගිලි රැසක වර්තමාන අයිතිය වෙනත් පුද්ගලයන් රැසකට පැවැරීම සිදු කොට ඇති බව හෙළිව තිබේ.

මේ බව හෙළිව ඇත්තේ රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවත්වනු ලබන විමර්ශනයක දී එම ගොඩනැගිලිවල සැලසුම් නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි විසින් ලබා දුන් තොරතුරු මතය. එම දේපළක අයිතිය තමන්ට ද පවරා තිබෙන බව ඔහු මෙහි දී පවසා ඇත. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ මුදල් වැයකර ගම්පහ මල්වානේ අක්කර 16 ක පොල් වත්තක ඉදිකළ දැවැන්ත නිවසේ අයිතිය ඔහුට හිමිව තිබේ. නමුත් එම නිවස ඉදිකිරීමට සම්පූර්ණ මුදල් වියදම් කළේ බැසිල් රාජපක්ෂ මහතා බව ඔහු මෙහි දී පවසා ඇත. එම නිවසට මුල්ගල් තැබුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ බවත්, නිවසේ ඇතුළත විලාසිතා බැසිල් රාජපක්ෂ මහතාගේ දියණිය විසින් සිදු කරනු ලැබූ බවත් මුදිත ජයකොඩි මහතා වැඩිදුරටත් පවසා ඇත.

එමෙන්ම පසුගිය 27 වන දින පූගොඩ මහෙස්ත‍්‍රාත්වරයාගේ නිල මැදිරියේ දී මුදිත ජයකොඩි මහතා විශේෂ ප‍්‍රකාශයක් කර ඇති අතර එහි දී එම නිවස තමන්ගේ නමට පැවරුවේ බලහත්කාරයෙන් බවත් ඒ වන විට එම නිවසේ හිමිකරුවා වූයේ තිරුනඬේෂන් මහතා බවත් පවසා ඇතැයි දැනගැනීමට තිබේ.

කෙසේ නමුත් මෙම නිවසේ සැලසුමට මෙන්ම මාතර බ‍්‍රවුන්ස් හිල් මැදුර, ඞී.ඒ. රාජපක්ෂ පදනමට අයත් ගම්පහ පක්ෂ කාර්යාලය වැනි ගොඩනැගිලිවල ගෘහ නිර්මාණ ශිල්පියා වන මුදිත ජයකොඩි මහතා එම ව්‍යාපෘති වෙනුවෙන් කිසිදු මුදලක් අයකර නොමැත. ඒ වෙනුවට රජයේ විශාල පරිමාණයේ ව්‍යාපෘති සමූහයක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මුදිත ජයකොඩි මහතා හට ලබා දීමට රාජපක්ෂවරු කටයුතු කර ඇත.

පසුව මේ පිළිබඳව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් FCID නිලධාරීන් කළ ප‍්‍රශ්න කිරීමක දී ‘‘කන්ට‍්‍රැක්ට් එක ටෙන්ඩර් කෝල් කරන් නැතුව මුදිත ජයකොඩිගෙ ෆර්ම් එකට දෙන්න කියල ගෝඨාභය මගෙන් ඉල්ලූවා’’ යනුවෙන් පවසා ඇතැයි ද එම මූලාශ‍්‍ර සඳහන් කරයි. මුදිත ජයකොඩි මහතාට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බත්තරමුල්ල පැලවත්තේ යුද හමුදා මූලස්ථානය සහ කොම්පඤ්ඤවීදියේ යුද හමුදා පාසල සැලසුම් කිරීම හා ගොඩනැගීම පවරා ඇත්තේ ද ටෙන්ඩර් කැඳවීමකින් තොරවය. මුදිත ජයකොඩි මහතා මෙම මහා පරිමාණ ව්‍යාපෘති දෙකම අත යටින් ලබාගෙන ඇත්තේ තම ‘මුදිත ජයකොඩි ඇසෝසියේට්ස්’ ආයතනය පිළිබඳව යුද හමුදාවට මුළුමනින්ම අසත්‍ය තොරතුරු ලබා දෙමින් බව ද පැවසේ. ඔහු යුද හමුදාවට පවසා ඇත්තේ තමා යටතේ ගෘහ නිර්මාණ ශිල්පීන් විසි දෙනකු හා ඉංජිනේරුවන් තිස් දෙනකු පූර්ණකාලීනව සේවය කරන බවයි.

කෙසේ නමුත් රාජපක්ෂවරු එම පාලන සමයේ දී විශාල වශයෙන් ඉඩම් අත්පත් කරගත් බවට චෝදනා එල්ල වූ අතර මේ වන විට රාජපක්ෂ පවුලේ ඉඩම් ඔවුන්ගේ හිතවතුන්ගේ නමට පැවැරීමත් අඩු මිල ගණන් යටතේ විකුණා දැමීමත් සිදු වෙමින් තිබේ. පසුගිය පාලන සමයේ දී බැසිල් රාජපක්ෂ මහතා මුදල් වැයකර ලබා ගත් ඉඩම් රැසක්ම වෙනත් අයගේ නම්වලට ද මිලදී ගැනීම සිදු කර ඇති අතර ඒ සඳහා මුදල් ලැබුණේ කෙසේදැයි මේ වන විට විමර්ශන කටයුතු සිදු වෙමින් තිබේ. ඔහු ඍජුවම සම්බන්ධ වූ ගනුදෙනුවල දී අදාළ මුදල් ලැබුණු පුද්ගලයන් සම්බන්ධයෙන් නම් කෙරුණු අය දැනට ජීවතුන් අතර නොමැති ධනවතුන් බව ද එම තොරතුරු මූලාශ‍්‍ර පවසයි.

Share on Google Plus