අනුරට ගැසූ බෝම්බය විමල්ට පත්තු වෙයි.


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කරමින් පසුගිය සතියේ දියත් වූ මාධ්‍ය ප‍්‍රහාරය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජවිපෙ විරෝධී සහ මහින්දවාදී මාධ්‍යවේදීන් කිහිප දෙනකු සමඟ එක්ව දියත් කරන ලද දේශපාලන මෙහෙයුමක් බව මේ වන විට අනාවරණය වී ඇති අතර එම සිද්ධියත් සමඟ විමල් වීරවංශ මහතා වෙත විවිධ අංශවලින් අප‍්‍රසාදය පළ වී ඇති බව වාර්තා වෙයි.

විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා ක‍්‍රියාකරන කණ්ඩායමේ ශ‍්‍රීලනිප පාර්ශ්වයේ ප‍්‍රබලයන් කීප දෙනෙක් විමල් වීරවංශ මහතා විවේචනය කරමින් අදහස් දක්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සනාථ කරයි. ඔවුන්ගේ අදහස වී ඇත්තේ, මෙම සිද්ධියත් සමඟ ජනතා විමුක්ති පෙරමුණටත් එහි නායකත්වයටත් ‘අනවශ්‍ය අවධානයක්’ රට තුළ නිර්මාණය වූ බවය. අනුර දිසානායක මහතා ඉලක්ක කරමින් සති අන්ත පුවත්පතක පළ වූ නිර්නාමික ලේඛකයෙක් සම්පාදනය කළ ලිපියේ අන්තර්ගතය ‘හිස්’ බවත්, එවැනි අසාර්ථක ප‍්‍රහාර හේතුවෙන් ජවිපෙ නායකත්වයේ ප‍්‍රතිරූපයට හානි වෙනවා වෙනුවට සිදු වූයේ සමස්ත පක්ෂයේත් සිවිල් සමාජයේත් සහාය ඔහු වෙත ලැබෙන්නට පටන් ගැනීම බවත් එම පාර්ශ්වයන්ගේ අදහස වී ඇත. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මෙම සිදුවීම වේගයෙන් ව්‍යාප්ත වුව ද, අපහාසාත්මක ලිංගික කරුණු මිස සාර්ථක විවේචනයක් ගොඩ නොනැගුණු බවත් නාගරික මධ්‍යම පාන්තික කොටස් එම අපහාසාත්මක කරුණු ප‍්‍රතික්ෂේප කළ බව ද ඔවුන් අවධාරණය කර ඇත. ජවිපෙ අභ්‍යන්තරයේ කිසියම් බෙදීමක් තිබුණේ නම්, මෙම සිද්ධියත් සමඟ එකී බෙදීම තාවකාලිකව හෝ නතරවනු ඇති බවත් එය තම පාර්ශ්වයට අවාසියක් මිස වාසියක් අත්පත් කර නොදෙන බවත් ඔවුහු පවසති. පසුගිය දා කිරුළපන දී පැවැත් වූ මැයි රැලියත් සමඟ මහින්ද පාර්ශ්වය කිසියම් පසුබෑමකට ලක් වූ බවත් ඊට වගකිවයුතු විමල් වීරවංශ වැනි පුද්ගලයන් මෙවැනි අසාර්ථක මාධ්‍ය මෙහෙයුම් හරහා ජනතා විමුක්ති පෙරමුණට ජනතා අවධානයක් ලබා දීමෙන් ‘මහින්ද නැවත ගෙන ඒමේ සටනට’ කිසිදු සහායක් නොලැබෙන බව ඔවුන්ගේ අදහස වී තිබේ.

එමෙන්ම අදාළ සති අන්ත පුවත්පතේ කතුවරයාගේ යැයි කියැවෙන හඬ පටයක් ‘ශ‍්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවිය විසින් මුදා හරිනු ලැබීමත් සමඟ ජවිපෙ නායකයාට එරෙහි ‘මඩ ප‍්‍රහාරය’ එල්ල කළ පාර්ශ්වයට ම දේශපාලන භූමරංගයක් වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. එම හඬපටයේ නිරවද්‍යතාව පිළිබඳව තමන් වගකියන බව ‘ශ‍්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවිය තහවුරු කරයි. එම හඬ පටය අනුව, අදාළ පුවත්පතේ කතුවරයා ආන්දෝලනාත්මක ලිපිය පළවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව නිශ්චිතව ප‍්‍රකාශ කරයි. මේ අතර පසුගිය 12 වනදා අදාළ පුවත්පතේ සේවය කළ පුවත්පත් කලාවේදියෙක් ලිපියේ වගකීම භාරගෙන ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. මේ හේතුව මත, තම ව්‍යාපාරය අනවශ්‍ය අවදානමකට ලක් කළේ යැයි අදාළ පුවත්පතේ කළමනාකාරීත්වය තුළ සිටින මධ්‍යස්ථ මතධාරීන්ගේ බරපතළ විරෝධය ද විමල් වීරවංශ මහතා වෙත එල්ල වී ඇත.

Share on Google Plus