කෝටි 8ක වංචාවේ තොරතුරු හෙළි වේ.


පසුගිය රජය සමයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ හම්බන්තොට තෙල් ටැංකි විවෘත කිරීමේ උළෙලක් පවත්වමින් ඒ සඳහා රුපියල් කෝටි 8ක මුදලක් වැය කරමින් මහා පරිමාණයෙන් සිදු කරන ලද මුදල් වංචාවක් පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ. මෙම වංචාව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහජන සම්බන්ධතා හා සන්නිවේදන කොට්ඨාසයේ හිටපු ප්‍රධානියකුගේ අනුදැනුම මත සිදුව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 12දා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිට යොමු කරන ලද වාර්තාවක සඳහන් කර තිබේ.

2014 ජුනි 22 දින හම්බන්තොට පැවැති මෙම උළෙලට මුදල් වියදම් කිරීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු මහජන සම්බන්ධතා සහ සන්නිවේදන කොට්ඨාසයේ උසස්නිලධාරියකුගේ අනුදැනුම මත සිදුව ඇති බවට එම වාර්තාවේ සඳහන් වේ.

විනිවිදභාවයකින් තොරව රාජ්‍ය ප්‍රසම්පාදන අනුගමනය නොකර හිතවත් පෞද්ගලික ප්‍රචාරණ ආයතනවලට උත්සව කටයුතු භාරදෙමින් මෙම වංචාව සිදු කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන සහ මාධ්‍ය ඒකකයක් මනාව ස්ථාපිත කර තිබියදී ‍එම නිලධාරීන්ට විශාල වැටුපක් ගෙවමින් සිටියදී මෙසේ පිටස්තර ආයතන යොදා ගත්තේ යැයි ලේඛන ඉදිරිපත් කර මුදල් වංචා කර ඇතිද යන්න ද සැක පළ වී ඇත.

විගණනයේදී සොයාගත් තොරතුරු මත නියෝජ්‍ය විගණකාධිපති වෙනුවට විගණන අධිකාරී ආර්.පී. හෙට්ටිආරච්චි මහතා මෙම වාර්තාව ව රාය අධිකාරියට යොමු කර තිබිණි.

විගණනයට හසු නොවූ හෙළිදරව් නොවූ තොරතුරුද මීට එක්විය හැකි බවත් ඒ අනුව මෙම මූල්‍ය වංචාව රුපියල් මිලියන 79ට වැඩි විය හැකි බවත් පැවසේ.

උළෙල සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පළ කිරීමට රුපියල් 57972506ක්ද, වේදිකා සැරසිලි, නැටුම්, ගැයුම්, හා පසුතල සඳහා රුපියල් 6940678ක්ද, නිල ධාරී නවාතැන් පහසුකම් සඳහා රුපියල් 56529881ක්ද වැය කර ඇති බවට සඳහන් වන අතර මාධ්‍ය ආවරණ සැලසුම් කිරීම වෙනුවෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයකට රුපියල් මිලියන 30 වඩා ගෙවා ඇති බවද විගණනයේදී හෙළි වී ඇත.

මාධ්‍ය ආවරණ සැලසුම් කිරීමට අමතරව තවත් පෞද්ගලික මාධ්‍ය කළමනාකරණ ආයතනයක සහාය ලබාගෙන ඇති බවටද ලිපි ලේඛන ඉදිරිපත් කර ඇත.

මෙම උත්සවය වෙනුවෙන් ගිය නිලධාරින්ගේ අතිකාල අත්තිකාරම් එකතු කළ විට වියදම මීට වඩා වැඩි විය හැකි බව පෙන්වා දෙන වාර්තාව වරාය අධිකාරිය උත්සවය වෙනුවෙන් මුදල් පියවීමේදී නිලධාරීන්ගේ ආහාර පාන පමණක් නොව පැනඩෝල් පෙත්තේ වියදමද එක්කර අත්තිකාරම් මුදල් පියවා ඇති බව සඳහන් වේ.

අදාළ බිල්පත්වල වටිනාකම් අසාමාන්‍ය බවද එම බිල්පත් ව්‍යාජ ඒවාද යන්න සැකය බැහැර නොකරන බවද වාර්තාවේ සඳහන් වේ. 


Share on Google Plus