මෛත්‍රි හා ශ්‍රී ලනිප ප්‍රබලයන් අතර රෑ 7ට හදිසි හමුවක්.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (10දා) එංගලන්තය බලා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ සාමාජිකයන් දස දෙනකු කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපති නිල නිවෙසේදී අද රාත්‍රි 7ට මේ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ගාල්ල පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දිනයට සහභාගි නොවී කිරුළපන මැයි රැලියට ශ්‍රී ලනිප පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සහභාගි වීම, ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පක්ෂ නායකත්වය විවේචනය කරමින් පක්ෂය භේදභින්න වන ආකාරයට ඇතැම් මන්ත්‍රිවරුන් දේශපාලන කටයුතුවල යෙදීම, පක්ෂයේ කිසිදු අනුදැනුමක් නොමැතිව රැස්වීම්, මාධ්‍ය හමු හා උද්ඝෝෂණ පැවැත්වීම ආදී කරුණු කීපයක් ගැනද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වනු ඇතැයි දැනගන්නට තිබේ.


පක්ෂයේ විනය කඩකරන සාමාජිකයන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පක්ෂ ව්‍යවස්ථාව අනුව පූර්ණ බලතල ඇතත් එම කාර්යය පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යොමු කර තීරණයක් ගැනීම ගැනද මෙහිදී සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජනාධිපතිවරයාගේ විදේශ සංචාරයෙන් පසුව ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව රැස්වී වැදගත් තීන්දු තීරණ කීපයක් ගැනීමටද නියමිතය.

Share on Google Plus