මහින්දට උගන්ඩා යන්න 425,000ක් ආණ්ඩුවෙන් දීලා.


උගන්ඩා ජනපති දිවුරුම්දීමේ උත්සවයට  මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ගියේ එරටින් ලද නිල ආරාධනයකට අනූව බවත්, ඒ සඳහා විදේශ අමාත්‍යංශය රුපියල් හාරලක්ෂ විසිපන්දහසක මුදලක් ගුවන් ටිකට් පත වෙනුවෙන් ලබාදී ඇති බවත්, පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම උදය ගම්මන්පිල මහතා කියයි.

කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.

හිටපු ජනපතිවරයෙකු ලෙස ඔහුට හිමි  වරප්‍රසාද ලැබී ඇති බවද, පාර්ලි‍මේන්තුව පවා එම වරප්‍රසාද තහවුරු කර ඇති බවද ඒ මහතා පෙන්වාදුන්නේය.

උගන්ඩාවේදී උදයංග වීරතුංග මහතා මහින්ද රාජපක්ෂ මහතා හමු‍වුණ බවට පැතිර යන ආරංචි ගැන මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ එරට සිටින සියලු ලාංකිකයින් පැමිණ රාජපක්ෂ මහතා හමුවූ බවය.

මේ අතර රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතාගේ රියදුරු කළැයි කියන ප්‍රකාශයක් ගැනද අදහස් දක්වන ලදී.

රුපියල් කෝටි 1260ක මුදලක් බැංකුවකින් අරගෙන රියදුරු විසින් ගාමිණි සෙනරත්ට ගෙනගොස් දුන් බවට රාජිත ඇමතිවරයා කළ ප්‍රකාශය බොරුවක් බවත්, ඔහුගේ අලුත්ම වැඩපිළිවෙළ වී ඇත්තේ එක සතියට එක බොරුවක් බවත්, යැයි මන්ත්‍රීවරයා ‍පැවසීය.

එතරම් මුදලක් ටොන් දෙකහමාරක් පමණ බරැති බව ගණනය කිරීමේදී පෙනී යන බවත්, එතරම් බරක් එසවූ අදාළ පුද්ගලයාට රිදී පදක්කම දිය යුතු බවත්, එය ප්‍රවාහනයට යොදාගත් වාහනය ද දිග පළලින් වෙනස් විය යුතු එකක් බවත්, ඔහු ‍කීවේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඩුබායි හි බැංකුවල ඩොලර් බිලියන 18ක් තැන්පත් කර ඇති බව කියූ බවත්, මේ ආකාරයට බොරුව සමාජගත නොකරන ලෙසත් ඒ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් කොළඹ නගරය යටවී ඇති බවත්, ඊට මෙතෙක් විසඳුම් නැති බවත්, පැවසූ ඒ  මහතා කයිවාරු ගසන ඇමතිවරු වෙනුවට අපට අවශ්‍ය වැඩ කරන අය බවත්, කියා සිටියේය.


Share on Google Plus