පාතාලයට පණ දුන් අවි ගබඩා 2 ක්‌ වටලයි.


මිනිස්‌ ඝාතන ඇතුළු විවිධ ප්‍රහාර සඳහා කොළඹ පාතාලයට අවි ආයුධ සැපයූ ප්‍රධාන අවි ගබඩා දෙකක්‌ වැටලූ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය අවි ආයුධ තොගයක්‌ සමඟ ඊට සම්බන්ධ ප්‍රධාන පෙළේ අවි ජාවාරම්කරුවන් ඇතුළු සැකකරුවන් පහළොස්‌දෙනකු ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර ටී 56 ගිනි අවි 2 ක්‌, මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝල 3 ක්‌, රිවෝල්වර 3ක්‌, රිපීටර් තුවක්‌කුවක්‌, පතරොම් තුවක්‌කු, මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක්‌, ඇරෝගන් අවියක්‌, ස්‌නයිපර් ගිනි අවියක්‌ සහ විවිධ වර්ගයේ ජීව උණ්‌ඩ 3000 ක්‌ ඇති බව ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය පවසයි.

මෙම ආයුධ ජාවාරම්කරුවන් පිළිබඳ මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ කොළඹ පාතාලයේ ප්‍රධානම පෙළේ නායකයන් දෙදෙනකු බව කියන ආමි සම්පත් සහ බ්ලුමෙන්ඩල් සංඛ නමැති අපරාධකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.

මෙම පාතාල කල්ලිය සිය ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලිවලට ප්‍රහාර එල්ල කිරීමට සහ තවත් අපරාධ රැසකට යොදාගෙන ඇත්තේ මෙම අවි ජාවාරම්කරුවන් ගෙන් ලබාගත් ස්‌වයංක්‍රීය අවි ආයුධ බව පරීක්‌ෂණවලින් හෙළිවි ඇත.

දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයා ඉලක්‌ක කර දෙමටගොඩ මංසන්ධියේදී ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා ආමි සම්පත් සහ බ්ලුමැන්ඩල් සංඛ නමැති අපරාධකරුවන් යොදා ගෙන ඇත්තේ මෙම අවි ජාවාරම්කරුවන්ගෙන් ලබාගත් අවි ආයුධ බවද අනාවරණය වී තිබේ.

මෙම අවි ගබඩා දෙක පිහිටා තිබී ඇත්තේ මීගමුව සහ ගම්පොළ ප්‍රදේශවලය. ප්‍රංශයේ සිට පැමිණි පුද්ගලයකු විසින් මීගමුව ප්‍රදේශයේ අවි ගබඩාව පවත්වාගෙන ගොස්‌ ඇති අතර පාතාලයට සම්බන්ධ තවත් පුද්ගලයකු විසින් ගම්පොල ප්‍රදේශයේ අවි ගබඩාව පවත්වාගෙන ගොස්‌ තිබිණි.

මෙම අවි ජාවාරම්කරුවන් කුලී ක්‍රමයට හුවමාරු ක්‍රමයට සහ අත්පිට මුදලට අවි ආයුධ ලබා දී ඇති බවද පරීක්‌ෂණවලින් හෙළිවී ඇත.

අවි ජාවාරමට සම්බන්ධ තවත් ජාවාරම්කරුවන් පිරිසක්‌ සහ තවත් අවි ආයුධ තොගයක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතය. 

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධීක්‌ෂණය යටතේ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස්‌ අධිකාරිවරුන් වන ජගත් නිශාන්ත, ජගත් ෆොන්සේකා, ස්‌ථානාධිපති කේ. එන්. ඕ. පෙරේරා, ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක රූකාන්ත පෙරේරා, පොලිස්‌ පරීක්‌ෂක ජයසුන්දර, සැරයන්වරුන් වන දාස්‌ගුප්තා, කළුබෝවිල කපිල, කොස්‌තාපල්වරුන් වන බණ්‌ඩාර, අධිකාරි, දමිත්ද රාජපක්‌ෂ යන නිලධාරීන් පරීක්‍ෂණ පැවැත්වූහ. 

Share on Google Plus