රජයේ අධ්‍යක්ෂවරු 139 ක් හෙට ඉල්ලා අස්වේ.



රජයේ සංස්ථා හා මණ්ඩලවල සිටින නියෝජිත අධ්‍යක්ෂවරු 139 දෙනකු හෙට (26) දිනයේදී හදිසියේ ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

දේශපාලන පත්වීම් මත අදාළ සංස්ථා හා මණ්ඩලවලට පත් කරනු ලබන නිලධාරීන් විසින් සිදු කරන අයථා ගනුදෙනු වලට සාමූහිකව නියෝජිත අධ්‍යක්ෂවරුන්ටද වගකීමට සිදුවීම නිසා මෙසේ ඉල්ලා අස්වීම‍ට තීරණය කර ඇත.

(නියෝජිත අධයක්ෂවරු රජයේ සේවකයෝ වෙති)

මීට ආසන්නතම හේතුව බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සුභ සාධන කටයුතු සදහා ලබාදුන් මුදලක් අදාළ අධිකාරියේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්නගේ මැදිහත්වීමෙන් හිටපු ඌව පළාත් මහ ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ දන්සැලක් සදහා ලබා දීමේ සිද්ධියට මේව විට එහි අධ්‍යක්ෂ මණ්ඩලයට සාමූහිකව වගකීමට සිදුවීම නිසාය.

එම සිද්ධියට වගකිවයුත්තන් ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිට ඇති අතර ඒ අනුව විමර්ශනය කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත මුදලිගේ මහතා උපදෙස්දී ඇත්තේ ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලෙයේ සියලුම සාමාජිකයින් සාමූහික වගකිවයුතු බවයි.

ඒ අනුව එම අධ්‍යක්ෂ මණ්ඩලවල සිටි සියලු දෙනාට හෙට පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව පැවසේ.

කෙසේවුවද මෙවැනි වැරදි සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරුවහොත් ඊට ඇප හිමි නොවන බවද පැවසෙන අතර ඒ හේතුවෙන් එයට විරෝධය දක්වා නියෝජිත අධ්‍යක්ෂවරු 139 දෙනා ඉල්ලා අස්වීමට සූදානම් වේ.

මේ සම්බන්ධයෙන් මේවන විට නියෝජිත අධ්‍යක්ෂවරු ජනපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට එක්ව ඇතැයි වාර්තා වේ.

Share on Google Plus