යෝෂිතට එරෙහි නාවික හමුදා පරීක්ෂණ නැවතුනේ ඇයි?


හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නාවික හමුදාව මඟින් පවත්වමින් තිබූ සිද්ධීන් දෙකකට අදාළ පරීක්ෂණ සම්පූර්ණයෙන් නවතා තිබේ. සී.එස්.එන්. රූපවාහිනියට මූල්‍ය සම්පත් යොදා ගැනීමට අදාළව තවත් චෝදනාවක් අධිකරණය හමුවේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පැවැත්වෙන බැවින් එවැනි නඩුවක් අවසන් වන තෙක් මෙම ‍චෝදනාවලට අදාළ පරීක්ෂණ පැවැත්වීම මෙසේ නවතා ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා සේවයේ සිටි කාලයේදී නාවික හමුදාපතිවරයාගේ අවසරයකින් තොරව අවස්ථා ගණනාවකදීම තම අභිමතය පරිදි විදෙස් සංචාරවල යෙදීම සහ රජයේ මූල්‍ය සම්පත්වලින් විදෙස් පාඨමාලා සඳහා මුදල් යෙදවීම යන චෝදනා යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට සහ එම චෝදනාවලට සම්බන්ධ සෙසු පුද්ගලයන් කිහිප දෙනකුට එරෙහිව මෙම පරීක්ෂණ සිදු කෙරෙමින් තිබිණි.

ඒ අතර කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පරීක්ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමෙන් පසු නාවික හමුදාව මඟින් සිදු කරමින් පැවැති එම පරීක්ෂණ මෙසේ නැවැත්වීමට නාවික හමුදාව පියවර ගෙන ඇත්තේ ඊට අදාළව සිදු කෙරුණ සාකච්ඡා වලින් අනතුරව වෙයි.

මෙම චෝදනාවලට අදාළ පරීක්ෂණ යළි ආරම්භ කෙරෙන්නේ දැනට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු තීන්දුවලින් පසුව බව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඒ අතර යෝෂිත රාජපක්ෂ මහතාට නාවික හමුදාව සම්බන්ධයෙන් කර තිබූ සේවය තහනම් කර තිබීම කඳවුරුවලට ඇතුල්වීම තහනම් කිරීම ආදිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි. 

Share on Google Plus