මහින්දගේ ලොකු පුතාගේ කැරැට්ටුවෙන් බිඳක්.


ඒ 2010 වර්ෂයේ මහා මැතිවරණය වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු ඉහළින්ම දියත් කර තිබූ සමයයි. හා හා පුරා කියා පාර්ලිමේන්තු මැතිවරණයකට නාමල් රාජපක්‍ෂද ඉදිරිපත් වී සිටියේ ය. මේ සමයේ නාමල් රාජපක්‍ෂ විසින් ‘ලොකු අයියා’ වශයෙන් හැඳින් වූ පුද්ගලයකු විය. ඒ විමල් වීරවංශ ය. විමල් වීරවංස නාමල් රාජපක්‍ෂගේ ලොකු අයියා නම්, ඔහු මහින්ද රාජපක්‍ෂගේ ලොකු පුතාද වන්නේ ය.

කෙසේ හෝ වේවා ඒ දාරක බැඳීම් අපට කිසිසේත්ම වැදගත් නොවන අතර, වැදගත් වන එක් දෙයක් තිබේ. මහින්ද රාජපක්‍ෂ පසුගිය ජනාධිපතිවරණය සමයේ අභ්‍යන්තර විරුද්ධවාදීන්ට තග දැමීමට කී කතාවක් ය. "කාගේ කාගේත් ෆයිල් මගෙ ළඟ තිබෙනවා" යන්න ය. කාගේ කාගේත් ෆයිල් ළඟ තබාගෙන කවුරු කවුරුත් අල්ලේ නැට වූ මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිසගේ කැරැට්ටුව ඔවුන් බලයේ සිටිය දී ම වරින්වර ‘ලංකා’ හෙළි කළේ ය.

එම දූෂිත ඒකාධිපති පවුල් පාලනය ජනතා ඡන්දයෙන් පෙරළා දමා දැන් පුරා මාස පහළොවක් ගතව අවසන් ය. මහින්ද රාජපක්‍ෂ ළඟ තබාගෙන සිටි ෆයිල් සැලැකිය යුතු ප‍්‍රමාණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, වංචා, දූෂණ සොයන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට මෙන් ම මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයට යන ආයතනවලට භාර දී සැලැකිය යුතු විශාල කාලයක් ඉක්ම ගොස් ය. ඒ අදාළ චෝදනා විමර්ශනය කර අදාළ වැරැදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කර චෝදනා ඔප්පු වුවහොත්, නීති ප‍්‍රකාරව දඬුවම් දීමට ය.

එහෙත්, එම කටයුතු ඇදි ඇදී යන තත්ත්වයක් තුළ මහජන අධිකරණය ඉදිරියේ විභාග කිරීමට හෝ සැලැස්විය යුතුව තිබේ. නාමල් රාජපක්‍ෂගේ ලොකු අයියා විසින් මහජන දේපොළ කොල්ලකන ලද ආකාරය මෙන් ම මූල්‍ය අපරාධ සිදු කළ ආකාරයත්, ඇමතිකම අවභාවිත කළ ආකාරයත් ගැන මඳියි නොකියන්නට කරුණු ඉදිරිපත් වී තිබේ. වීරවංස ඇමතිගේ රථගාය පිළිබඳව දැනට තහවුරුව තිබෙන තොරතුරු ජනතා අධිකරණය ඉදිරියේ දිගහරින්නේ රටේ අධිකරණය ඉදිරියේ දිගහැරීමට පෙළැඹවීමක් වශයෙන් ය.

විමල් වීරවංසට රථගාය වැළඳෙන්නට පසුබිම හැදෙන්නේ 2010 අප්‍රේ‍රල් මස 08 වැනි දින පැවැත් වූ මහා මැතිවරණය සමයේ ය. නාමල් රාජපක්‍ෂගේ ලොකු අයියා වීම තුළින් ය. මහා මැතිවරණයෙන් නාමල් රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ මෙන් ම නිරූපමා රාජපක්ෂද පාර්ලිමේන්තුවට සේන්දු වූ අතර, මහින්ද රාජපක්‍ෂගේ ලොකු පුතා වූ (නාමල් රාජපක්‍ෂ කියූ ලෙස) විමල් වීරවංස ද තේරී පත් විය. නිකම් ම නිකම් මන්තී‍්‍ර කට්ටකින් කිසිදු වැඩක් වන්නේ නැත. කොයි කාටත් ඇමතිකමක දැඩි අවශ්‍යතාවක් තිබිණ. මහින්ද රාජපක්‍ෂ පවුලේ ලොකු පුතාට ඇමතිකමක් ෂුවර් විය. ලපයිසිපයි ඇමතිකමක් නොවේ. යහමින් යමක්කමක් කර ගත හැකි ඇමතිකමක් ය.

රාජපක්‍ෂ ආණ්ඩුවේ කොයිකාගේත් පොදු බලාපොරොත්තුව මෙය වූයෙන් ඇමති කුට්ටම බෙදා-හදා දීම මහින්ද රාජපක්‍ෂට ලොකු ප‍්‍රශ්නයක් වූයේ ය. අප්‍රේල් මස 22 වැනි දින පාර්ලිමේන්තුව රැස් වනවිට පත් කර සිටියේ අගමැති පමණ ය. ඒ දි. මු. ජයරත්න ය. එකසිය ගණනක් වූ ඇමති මණ්ඩලය පත් කළේ ඉන් පසුව ය. මහින්ද රාජපක්‍ෂ පවුලේ ලොකු පුතා වූ විමල් වීරවංසට ලෙකු ඇමතිකමක් ලබා දී තිබිණ. ඇමතිකම වගේම එහි නමත් දිග ය. ‘ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය’ යනුවෙන් ය. මෙයට ආයතන හැටහතක් අයත් වූයේ ය.

මීයක් කඩන්නේ අත ලෙව කන්නට නොවේ ය. වීරවංස උගුර ලේ රහ වන තුරු වේදිකා ගාණේ කෑ ගසා ඇමතිකමක් ගත්තේ බකංනිලාගෙන බිම උලාගෙන සිටින්නට නොවේ යැයි ආරම්භයේ දී ම කල්පනා කරන ලද බව පැහැදිලි ය. අටවාගෙන තිබුණු පක්‍ෂයේ නායකයන් යැයි කියා ගත් හැම දෙනාටම සැලැකිය යුතු ආදායම් මාර්ග, යානවාහන, නිවාස, දුරකථන, ඉන්ධන, මාසික වියදම් අසීමිතව ලබා දෙනු ලැබී ය. 2010 මැයි මස 14 වැනි දින ජනාධිපති ලේකම් විසින් නිකුත් කළ චක‍්‍රලේඛයකින් කියා තිබුණේ ඇමතිවරයකුට සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට භාවිත කළ හැකි උපරිම රජයේ වාහන සංඛ්‍යාව අටක් බව ය.

වාහන අට බෙදී තිබුණේ ඇමතිවරයාට වාහන තුනක්, පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකුට, මහජන සම්බන්ධතා නිලධාරියෙකුට සහ මාධ්‍ය ලේකම්වරයකුට එක බැගින් ය. වීරවංස ඇමති විසින් වාහන අට ම ලබාගෙන එයින් නොනැවැතී අමාත්‍යාංශයේ තවත් වාහන පහක් අමාත්‍ය කාර්යාලය සඳහා ලබාගෙන තිබිණ. ජේ.වී.-5351, කේ.ජී.-6810, කේ.එච්.-5211, ජී.ඞී.-7251 සහ කේ.ජී.-0356 දරන වාහන ය. ජනාධිපති ලේකම්ගේ චක‍්‍රලේඛ ලොකු පුතාලා ඇතුළු කිසි ම පුතෙකුට වැඩක් නැත. එවැනි චක‍්‍රලේඛ මේ පුතාලා පස්ස පිස දැමීමට තරම්වත් මායිම් කරන්නේ නැත. වාහන අටක සීමාව වාහන 13ක් වූයේ ය.

දේශප්‍රේමී රාජපක්‍ෂ වැඩිමහල් පුත‍්‍ර වීරවංස එයින් නැවතුණේ ද නැත. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට කුලී ගෙවීම මත වාහන 51ක් අමාත්‍ය කාර්ය මණ්ඩලයට ලබා දී තිබුණේ දේශප්‍රේමී වීරවංස ඇමති නියමයෙන් ය. මෙහි විශේෂත්වය වන්නේ මෙම වාහන 51ම මාසික කුලී පදනම මත ලබාගෙන තිබීම ය. මාසික කුලිය රුපියල් තිස්අට දහසේ (රු. 38,000) සිට රුපියල් හතලිස් පන් දහස (රු. 45,000) දක්වා පරාසයක තිබී ඇත. 2011 වසරේ සිට 2014 වසර අවසානය දක්වා මේ සඳහා කුලී ගෙවා ඇත. ගෙවා තිබෙන කුලිය දළ වශයෙන් රුපියල් මිලියන 93කට අධික ය.

වාහන නිකම්ම පණ ගන්වා ධාවනය කළ නොහැකි ය. ඒ සඳහා ඉන්ධන අවශ්‍ය ය. මහින්ද රාජපක්‍ෂ දළදා හාමුදුරුවන් ඉදිරිපිට දී 2011 ඔක්තෝබර් මස කීවේ "අපේ තෙල් තවමත් ගොඩගෙන නැත. එහෙයින් ඉන්ධන සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුව තිබේ. විශේෂයෙන් ම ඇමතිවරුන්ගේ හා කාර්ය මණ්ඩලවල භාවිතයට යොදවා තිබෙන වාහන සඳහා ඉන්ධන සීමාවක් නැත. ඇමති මණ්ඩලයට ලබා දී තිබෙන කූපන් සඳහා අසීමිත ඉන්ධන ප‍්‍රමාණයක් ලබා ගත හැකි ය." මේ නිසා වීරවංස සහ ඔහුගේ ගෝලබාල පොල්මඃකාරයන් සහ අඹුවන් ඇතුළු පිරිස ඉන්ධන සඳහා වැය කර තිබෙන මුදල කොපමණ දැයි මේ වන තුරුත් සොයාගෙන නැත. එසේම රියැදුරන්ගේ වැටුප් සහ අතිකාල දීමනා සඳහාද, වාහන නඩත්තු කටයුතු සඳහාද එවැනිම අති විශාල මුදලක් දරා ඇත. එම මුදල කොපමණ දැයි මේ වනවිටත් හෙළි වී නැත.

මහින්ද රාජපක්‍ෂ පවුලේ ලොකු පුතා වීරවංසගේ කෙරුවාව මෙසේ වීම එක පැත්තකින් අරුමයක්ද නොවන තරම් ය. හේතුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිගේ රථගායද එසේ මෙසේ වූවක් නොවන නිසා ය. ඔහු ජනාධිපති වූයේ 2005 නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණයෙන් ය. එම වසර අවසන් වනවිට ජනාධිපති සතු වාහන සංචිතයේ මුළු වටිනාකම වී තිබී ඇත්තේ, රුපියල් අටකෝටි දශලක්‍ෂයක් ය. නමුත්, 2014 වර්ෂය අවසන් වනවිට මහින්ද රාජපක්‍ෂගේ අවුරුදු නවයක කාලය තුළ එම සංචිතයේ වටිනාකම රුපියල් අටකෝටියේ සිට රුපියල් කෝටි තුන්සියඅසූවද ඉක්මවා ඉහළ දමාගෙන තිබිණි. වීරවංස ලොකු පුතා නොට්ටිගෙ පුතා නොවී මෙසේ ක්‍රියා කිරීම ගැන ආඩම්බරයද ආඩම්බරකාර තාත්තාටම මිස අනෙක් කිසිවකුට නොවේ ය.

තහවුරු වී තිබෙන තොරතුරුවලට අනුව වීරවංසට 2013 වසරේ දී තවත් අමතර වාහන රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දී ඇත. එයට හේතු වී ඇත්තේ, මහින්ද රාජපක්‍ෂගේ ජනාධිපතිවරණ මාර්ග සිතියම එළා තිබීම සහ එයට පූර්වගාමීව පළාත් සභා කෑලි මැතිවරණවල තීරණාත්මක උච්ච තත්ත්වයකට පත්ව තිබීම ය. එම වසර දෙක තුළ තීරණාත්මක බස්නාහිර, දකුණ සහ ඌව පළාත් සභා මැතිවරණ කැඳවා තිබිණ. මෙම මැතිවරණවලින් හැකි උපරිම ජයග‍්‍රහණ ලබාගෙන ජනාධිපතිවරණයට මුහුණ දී ජයග‍්‍රහණය කිරීම මහින්ද රාජපක්‍ෂගේ අපේක්‍ෂාව සහ අභිප‍්‍රාය වී තිබුණේ ය. මේ වෙනුවෙන් වීරවංස ලොකදු පුතාගේ කට ප‍්‍රයෝජනයට ගත යුතු වූයේ ය. එසේ ම මැතිවරණ ක්‍රියාවලියේදී වීරවංස පොල්මඃකාරයන් ඇතුළු සහචරයන්ගේ සක්‍රීය දායකත්වයද වැදගත්ව පැවැතී තිබිණ. සියලු ම කාරණා සලකා බලා 2013දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කුලී ගෙවීම සඳහා සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී වාහන ලබාගෙන තිබිණ. එම වාහන සංඛ්‍යාව හතක් ය. වාහන ලබා දී තිබුනේ වීරවංස ලොකු පුතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ය. වාහනයක මාසික කුලිය රුපියල් එක්ලක්ෂ හැට අටදහස (රු. 1,68,000) දක්වා ඉහළම තලයක පැවැති අවස්ථා ද වූයේ ය. 2013 ඔක්තෝබර් මාසයේ සිට 2014 දෙසැම්බර් මස 31 වැනි දින වන විට මෙම වාහන හත සඳහා ගෙවා තිබූ මුළු කුලිය රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පණස්හතර දහස් තුන්සියඅසූනවයයි ශත තිස් අටක්ය (රු. 1,37,54,389.38).

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කුලී ගෙවා තිබෙන මෙම වාහන සම්බන්ධයෙන් ඉතා වැදගත් අමතර තොරතුරු රැසක්ද හෙළි වී තිබේ. විමල් වීරවංසගේ වැඩිමහලු සහෝදරයා සරත් වීරවංස ය. මහින්ද රාජපක්‍ෂ ඉල්ලන් කා අවුරුදු දෙකකට කලින් ජනාධිපතිි පුටුවෙන් බැස යනවිට සරත් වීරවංස පදිංචිව සිටියේ බත්තරමුල්ල, ‘දියවන්නා උද්‍යානය’ නම් නිවාස සංකීර්ණයේ ය. 2015 ජනවාරි මස 11 වැනි දින හෝ ආසන්න දිනයක දී ඉදි කිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයට අයත් ලිපි ගොනු අති විශාල ප‍්‍රමාණයක් කැබ් රථවලින් අභිරහස් ලෙස මෙම ස්ථානයට ගෙන ගොස් ගිනි තබා විනාශ කළේ ය. මෙම වීරවංස සහෝදරයා ඉංජිනේරු සංස්ථාවේ ඉහළම නිලයක් දැරී ය. ඒ අතර අලුත් ආදායම් මාර්ග කීපයක් ම සකසාගෙන තිබිණ. එයින් එකක් වූයේ එච්. ඩබ්ලිව්. එම්. නන්දනී ශ්‍රියාලතා නමැත්තියගේ නමට තිබෙන පී. බී.-0645 දරන මෝටර් රථය ජනාධිපති ලේකම් කාර්යාලයට කුලියට දීම ය. නන්දනී ශ්‍රියාලතා යනු අන් කවරකුවත් නොව සරත් වීරවංසගේ බිරිඳ ය. මෙම රථය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙවා තිබෙන කුලිය රුපියල් තිස්එක් ලක්‍ෂ තිස්තුන් දහස් හාරසියහතළිස්හයයි ශත හතලිහක් ය (රු. 3,133,446.40). මෙය සරත් වීරවංසගේ එක් ආදායම් මාර්ගයක් පමණ ය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කුලිය ගෙවන ලද තවත් රථයක් වන්නේ කේ.ටී.-5335 දරන රථයයි. මෙය විමල් වීරවංසගේ ප‍්‍රබල ම කූට්ටාලියකු වන නිමල් ප්‍රේමවංශ ජයසිංහට මන්ත්‍රී වරප‍්‍රසාද යටතේ තීරු බදු රහිත මිලට ගන්නා ලද්දක් ය. මෙය හදිසියේ ජී. ජී. නාලිකා තරංගනී නම් කාන්තාවකගේ නමට පවරා ඇත. එසේ පැවරීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් විසිහය ලක්‍ෂ විසිඑක්දහස් දහඅටයි ශත හතලියක (රු. 26,21,018.40) කුලියකට ලබාගෙන ඇත. ජී. ජී. නාලිකා තරංගනී යන කාන්තාව අන් තැනැත්තියක නොව නිමල් ප්‍රේමවංශ ජයසිංහගේ බිරිඳ ය. වීරවංසගේ සහචර හැත්ත බුරුත්ත මහජන මුදල් කොල්ලකා තිබෙන්නේ මෙසේ ය.

මහජන මුදලින් ලබා දී තිබූ වාහන රාශියක් විමල් වීරවංසගේ පවුලේ හෝ සහචරයන්ගේ ව්‍යාපාරික කටයුතු සහ වෙනත් පෞද්ගලික පරිහරණ කටයුතු සඳහා සම්පූර්ණයෙන් ම යොදවා තිබූ බව හෙළි වේ. මහින්ද රාජපක්‍ෂගේ ඡන්ද ප‍්‍රචාරක වැඩවලට හෝ යෙදවා නැත. එතැනත් වංචා කර ඇත. කොටින්ම දේශපාලන අප්පාටත් වංචා කර ඇත. මෙය කොතරම් දුරට ගෙන ගොස් තිබුණේ දැයි පැහැදිලි වන එක් නිදර්ශනයක් මෙසේ ය: වීරවංසගේ ඥාති පුතකු වන සාරංග හිරෝෂිමන් කුමාර යන අය කාර්යාල කාර්ය සහායකයකු වශයෙන් බඳවාගෙන සිට ඇත. ඔහුටද අංක කේ. කේ. 8841 දරන ටොයොටා සුඛෝපභෝගී ජීප් රථය ලබා දී තිබීම ය. ගෙදර බල්ලන්ටත් වාහන වෙන් කර තිබෙන්නට ඇත.

වීරවංස අටවාගෙන තිබෙන ජාතික නිදහස් පෙරමුණ නම් ව්‍යාපාරික ස්ථානයේ කෙරුමන් රැසකගේ පෞද්ගලික වාහනවලට ව්‍යාජ ලෙස වෙනත් අයගේ නම් යොදා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ඉංජිනේරු සංස්ථාවෙන් යන ආයතන දෙකෙන් ම කුලී ලබා ගත් අවස්ථා තිබේ. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර ඉදිරියේ දී මහජන අධිකරණය හමුවේ විභාගයට තැබිය යුතු ය. නිමල් ප්‍රේමවංශ, සරත් වීරවංස, පියසිරි විජේනායක යන කෙරුමන්ගේ බිරින්දෑවරුන්ගේ නම්වලට වාහන හරවා වංචනික ලෙස කුලිය ලබා ගැනීම් නිදර්ශන ය. මේ දේශපාලන ගෝතකරුමක්කාරයන් නිසා අඹුවන්ට පවා තමන්ගේ පාඩුවේ සිටීමට නොහැකි තත්ත්වයක් උදා කර තිබී ඇත.

ජාතික නිදහස් පෙරමුණ නම් ව්‍යාපාරයේ මාධ්‍ය ප‍්‍රකාශක වශයෙන් පෙනී සිටින එම්. මුසම්මිල් නමැත්තා ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ වශයෙන් පත් කර සිටියේ ය. ඔහු වෙනුවෙන් සුඛෝපභෝගී වාහන තුනක් ලබා දී තිබිණ. කේ.එල්. - 8238, කේ.ජේ.-8091 සහ කේ. ඕ.-9480 දරන වාහන ය. මෙම වාහන කුලී පදනම මත ලබාගෙන තිබිණ. 2011 සිට 2014 අවසාන දක්වා ගෙවා ඇති කුලිය රුපියල් තිස්දෙලක්‍ෂ තිස්දහස් හයසියහතළිහ (රු. 313,0640)ක් ය.

මෙයට අතිරේක වශයෙන් කේ. ඕ. 9480 දරන වාහනය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් 2013 ඔක්තෝබර් මස සිට මසකට රුපියල් එක්ලක්ෂ හැට අටදහසක් (රු. 168,000) බැගින් කුලියක් ලබාගෙන ඇත.
මහින්ද රාජපක්‍ෂගේ ජ්‍යෙෂ්ඨ දේශපාලන පුත‍්‍ර දේශප්‍රේමී වීරවංසගේ රථගායේ තරම මෙසේ ය. ඔහුගේ කෝටි හතක මන්දිරය, හෝටල් ව්‍යාපාරය, වෙනත් ව්‍යාපාර ආදිය මෙන්ම නිවාස බෙදා දී තිබෙන වෙස්සන්තර සෙයියාව ආදී දේ වෙනම පවතී. මේ හෙළි කළේ රථගායේ තරම පමණ ය. මෙහෙම මහජන මුදල් ගසා කනවුන්ට ‘හෙණ හත ම ගහන්නේ නෑ නේ’ යනුවෙන් පොදු ජනතාව කියන වාර අනන්තවත් ඇසිය හැකි ය. සති අන්තයේ ඇතැම් පුවත් පත්වල පළ කරන ලිපි විශේෂයක් වන්නේ කළ කර්ම පටිසන් දුන් ආකාරය ය. තවත් ලිපිවල මේ ආත්මයේ දී ම කර්ම පටිසන් දුන් ආකාරයට තවත් ලිපිවල මේ ආත්මයේ දී ම කර්ම පටිසන් දුන් හැටි විස්තර කර ඇත. එසේ වුවත්, එවැනි ලිපිවලින් අසවල් ඇමති මහජන මුදල් ගසා කෑම පල දුන්නේ මෙසේ යැයි ලිපි පළ කරන්නේ නැත. ඇමතිකම් නැතත්, තිබුණු රැස් වළල්ලට බයේ දැයි නොදනිමු.

එය කෙසේ වෙතත්, මෙවැන්නන්ගේ ජීවිත කොතරම් බලු වී තිබෙන්නේ දැයි මාධ්‍ය මඟින් නොකීවාට දන්නෝ දනිති. "දීප්තිමත්ව එළිය පැතිරුණු ත්‍රිකෝණාකාර ශාලා මාර්ගයේ දර්ගා පෙට්‍රොව්නා පෙනී සිටියා ය. නිදන ගවුමක් පමණක් හැඳ සිටි ඇගේ මුහුණ කෝපයෙන් පුපුරමින් තිබිණ. වික්ෂිප්ත භාවයේ පළමු නිමේෂය තුළ ඇයට පෙනුණේ මුළුමනින්ම නිරුවත්ව සිටියාක් මෙනි. ඇගේ ශක්තිමත්, විපුල සිරුරේ අසාමාන්‍ය අනාවරණය දැක දොස්තරවරයාත්, මහාචාර්යවරයාත් තුෂ්නිම්භූත වූහ. සිය සවිබල දෑතින් ඈ තමන් පසුපස කිසිවක් ඇදගෙන එමින් සිටියා ය. මේ   ‘දෙය’ හිස පසුපස ගාත් මත ඇන තබා නතර වීමට වෙර දරමින්, ඇගේ ඇදගෙන යාමට විරෝධය පාමින් සිටියේ ය. මේ ‘දෙය’ වූ කලී සැබැවින් ම මාරිකෝව් විය. තවමත් බීමත්ව, මුළුමනින්ම අන්දුන් කුන්දුන්ව සිටිය ඔහුගේ නිරුවත වැසී තිබුණේ හැඳ සිටි යට කමිසයට පින්සිදු වන්නට පමණි.” 

ඒ උපුටා දැක්වූයේ ‘බල්ලෙකුගේ හදවත’ නව කතාවෙන් කොටසක් ය. බල්ලන්ටත් අන්ත බලු කරුමක්කාර ජීවිත ගත කරන්නේ මහජන මුදල් කොල්ලකෑවුන් බව තවමත් කොතැනක හෝ කියා නැත.



උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය


Share on Google Plus