තාජුඩීන් ඝාතන සිද්ධිය රිය අනතුරක් බව කීවේ දේශපාලන බලපෑම් මත බව හෙළිවේ.


‍රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය මාරක රිය අනතුරක් ලෙස හුවා දක්වමින් විමර්ශන කටයුතු කළේ පොලිසියේ උසස් නිලධාරීන්ගේ නියෝග හේතුවෙන් යැයි ද උසස් පොලිස් නිලධාරීන් විසින් මේ මරණය සම්බන්ධයෙන් එසේ වැඩිදුර විමර්ශන කරන ලෙසට තමාට උපදෙස් ලබා දුන්නේ යැයිද රක්ෂිත බන්ධනාගාරගත නාරාහේන්පිට හිටපු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුමිත් චම්මික පෙරේරා රහස් පොලිසියට පවසා ඇත.

මේ කරුණු ඔස්සේ අදාළ උසස් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ‍අතර සැකකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය සමඟ කියැවෙන මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කළ හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

අනාවරණය වී ඇති සාක්ෂි ප්‍රකාරව සැකකාර චම්මික පෙරේරා ඝාතනයක් රිය අනතුරක් බවට අඟවා වැරදි සාක්ෂි ගෙතීම, සැලසුම් සහගත අපරාධයක් වසන් කිරීම හා සාක්ෂි අතුරුදන් කිරීම සිදු කොට ඇති බවත් ඒ අනුව සැකකරුට ඇප ලබාදීම ඉදිරි විමර්ශන කටයුතුවලට බාධාවක් බවත් රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කළේය.

සැලසුම් සහගත මනුෂ්‍ය ඝාතනයක් රිය අනතුරක් ලෙස හුවා දක්වමින් අසත්‍ය කරුණු ඉදිරිපත් කර විමර්ශන මෙහෙයවීමට උපදෙස් ලබාදී ඇති උසස් පොලිස් නිලධාරීන් අධිකරණයද නොමඟ යැවීමට කටයුතු කර ඇති බව අපරාධ විමර්ශන අංශය කරුණු දක්වා ඇත.

තාජුඩීන් ක්‍රීඩකයා ඝාතනය වූ දින එම ස්ථානය පරීක්ෂා කළ නාරාහේන්පිට පොලිසියේ කනිෂ්ඨ නිලධාරීන් මෙය රිය අනතුරක් නොව ඝාතනයක් යැයි සැක සිතෙන හෙයින් පරීක්ෂණ මෙහෙයවිය යුතු බව සැකකරුට පැවසූ අවස්ථාවේ ඔහු 'උඹ පණ්ඩිතයා වෙන්නේ නැතුව හිටපන් යැයි' එම පොලිස් සැරයන්වරයාට කියා ඇත.

තාජුඩීන්ගේ මුදල් පසුම්බිය කිරුළපන පොලිස් වසමේ රොබට් ගුණවර්ධන මාවතේ තිබී හමුවීම, මියයාමට මොහොතකට පෙර තාජුඩීන් සිය පෙම්වතියට කතා කළ බවට දුරකථනයේ සටහන්වීම හා මෝටර් රථය වේගයෙන් ධාවනය වූ බවට සලකුණු නොවීම ඇතුළු කරුණු අදාළ කර ගනිමින් කනිෂ්ඨ පොලිස් නිලධාරීන් මෙය සැක සහිත මරණයක් බවට කරුණු දක්වා ඇත. පොලිස් සැරයන්වරයකුගේ හා පොලිස් කොස්තාපල්වරයකුගේ මෙම කරුණු ඉවතදමා ඇති සැකකරු තොරතුරු වසන් කර ඇති බවද රහස්පොලිසිය අධිකරණයට කරුණු දක්වා ඇත. 

Share on Google Plus