ලග්ගල ගිනිඅවි සොරකම පොලීසියේම වැඩක් - දේශපාලනයත් ගෑවිලා.


ලග්ගල ‍පොලිස් ස්ථානයේ ගිනි අවි සොරකම එම පොලාස්ථානය තුළින්ම සිදුවී ඇති සොරකමක් බවත් එයට නීති විරෝධීව මැණික් ගැරීම්වල නිරත දේශපාලන සම්බන්ධකම් ඇති ජාවාරම්කරුවන්ගේ සම්බන්ධයක් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අනාවරණ කරගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ගිනි අවි සොරකමට සම්බන්ධ සැකකරුවන් ලඟදීම අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

නීති විරෝධීව මැණික් ගැරීම්වල නිරත දේශපාලන සම්බන්ධකම් ඇති ජාවාරම්කරුවන් ලග්ගල ‍පොලීසියේ ඇතැම් නිළධාරීන්ට පසුගිය කාලයේ ලක්ෂ ගණනින් මුදල් අල්ලස් බෙදා ඇති බවත් වත්මන් ‍පොලිස් ස්ථානාධිපතිවරයා සේවයට පැමිණීමෙන් පසු මුදල් බෙදීම නතර කිරීම හේතුවෙන් ඔහු ‍පොලිස් ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කිරීමට සංවිධානාත්මකව ගිනි අවි සොරා ගැනීම කර ඇති බවත් පෙනී යන බව රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි අංශ සිය ප්‍රධානීන්ට වාර්තා කර ඇත.

ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගෙන තමාට හසුවුවහොත් ‍පොලීසියෙන් පන්නා දමන බවට නව ‍පොලිස් ස්ථානාධිපතිවරයා ‍පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේම පවසා ජාවාරම්කරුවන්ගෙන් මාස්පතා මුදල් ලබා ගන්නා නිලධාරීන් කවුරුන්දැයි ඉඟිකර ඇති බවද පැවසේ. මේ හේතුවෙන් ජාවාරම්කරුවන්ද අර්බුදයක පසු වූ බවත් පොලිස් රැකවරණය ඔවුන්ට අහිමිවීමේ අවධානමක ඔවුන් පසු වූ බවත් පැවසේ. 

මෙම ගිනි අවි සොරකම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී ඒ සම්බන්ධයෙන් ‍පොලිස් නිලධාරීන් ලබාදෙන ඇතැම් සාක්ෂි පරස්පර මෙන්ම විශ්වාස කළ නොහැකි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග අනාවරණය කරයි.

Share on Google Plus