පැනමා වාර්තා ගැන ඒ කාලේ මහින්දට අපි කිව්වා - ගණන්ගත්තේ නැහැ.


පැනමා පත්‍රිකා අනාවරණ කළ ආකාරයට මෙරටින් මුදල් පිටවන බව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ හොඳාකාරවම දැන සිටි බවත් තමාද එවක ඇමතිවරයෙකුව සිටියදී මහින්ද රාජපක්ෂ මහතාට ඒ බව දැන් වූ නමුත් ඔහු එය වැලැක්වීමට කිසිවක් සිදු නොකළ බවත් වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ සිරස නිව්ස්ෆස්ට් මෙහෙයවූ වැඩසටහනකට එක් වෙමිනි. අදාළ මුදල් සංසරණය වීම සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අදාළ අංශ දැනුවත් කළ බවද පවසන හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා...

"මහින්ද රාජපක්ෂ බලයට ආවේ 2005 දී. ඔහුගේ ධුර කාලය අවසන් වුණේ ‍2015 දි. මේ කාලය අතරතුර එය පදනම් කරගෙන තමයි ග්ලෝබල් ෆයිනැන්ෂියල් ඉන්ටග්‍රිටි ආයතනය හෙළිකළ වාර්තාව සකස් වුණේ. එය පැමිණියේ ජාත්‍යන්තර වාර්තාවක් වශයෙන්. මම මේ සියලු දේ බලන්නේ සැකයෙන්. කෙසේවෙතත් මම දන්නවා මේ කියන ගණං වලට වඩා මුදල් ප්‍රමාණයක් එළියේ සඟවලා තියෙනවා කියලා. මොකද මම අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරද්දි මම ම තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් කිව්වේ සල්ලි රටින් එළියට යනවා කියලා. ලැබිය යුතු ප්‍රතිලාභ යළි රටට එන්නේ නැහැ කියලත් මම කිව්වා. ඒ කියන්නේ මේ සල්ලි ටික නිකන් තියෙනවා. මේවා ඉතාමත් බරපතල කාරණා. මේවා තමයි අපේ රටේ විදේශ සංචිත වෙන්නේ. කියලත් මම කිව්වා. ඉතින් ඇයි මේ මුදල් රටට ගේන්න යමක් නොකරන්නේ කියලත් මම ඇහුවා."

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- ඉතින් ඔබ මේවගේ දෙයක් පිළිගන්නවද?

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ පිළිතුර :- "මම තමයි මේ ප්‍රශ්නය එළියට ගෙනාවේ. ඊට පස්සේ හිටපු ජනාධිපතිතුමා මට කිව්වා භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර සහ මහ බැංකු අධිපතිතුමා අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් මේ ගැන අහන්න කියලත්. මම ඔවුන්ට මේ ගැටලුව කිව්වම ඔවුන් කිව්වේ අපි බාහිර බලපෑමකින් පාලනය වන රජයක් නොවන බවයි. දැන් වර්තමානයේ අපේ මූල්‍ය ක්‍රියාකාරිත්වය විවෘතයි. ඒ නිසා කිසිඳු නීතිමය අවරණයක් පෙනෙන්නට නැහැ මුදල් රටින් පිටත සංසරණයට යෙදවීම හෝ එම ආයෝජන මුලුමනින්ම හෝ කොටස් වශයෙන් යළි රටතුළට ගෙනඒම සම්බන්ධයෙන්."

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා... 

"මම මගේ අදහස කෙළින් කියන්නම්.පෞද්ගලිකවම මම විශ්වාස කරනවා මේ ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයින් ගැන අප විමර්ශනයක් කළ යුතුයි. මේ වනවිට ත් බොහොමයක් රටවල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මම විශ්වාස කරනවා මහ බැංකු අධිපතිවරයා වොෂින්ටන්හි සිට පැමිණි වහාම මේ පිළිබදව පුළුල් පරීක්ෂණයක් සිදුකොට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති බවට."

Share on Google Plus