පාතාල නායකත්වයට දරුණු සටනක්.


පාතාල කණ්ඩායම් තුනට බෙදී මත්කුඩු ජාවාරම් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් නායකත්වයට ඒමේ තුන්කොන් සටනක් ආරම්භකොට ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. එම කල්ලි තුනට සම්බන්ධ 40 දෙනකු සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇත.

කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් පිරිසක් ගිනිඅවිද සමඟ පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළි කරන ලද තොරතුරුවලින් මේ බව හෙළිවී ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ පාතාල කල්ලි තුනේ එක් කල්ලියක නායකත්වය ධනුෂ්ක ලක්මිණ නමැත්තකු යටතේත් දෙවැනි කල්ලිය දෙමටගොඩ චමින්ද යටතේත් තුන්වැනි කල්ලිය සමයං සහ ආමි සම්පත් යටතේත් ක්‍රියාත්මකව පවතින බව පාතාල කල්ලි පිළිබඳ මෙතෙක් සිදුකරන ලද පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

ඊට අමතරව මේ පාතාල කල්ලි තුන සඳහා සහාය දෙන පිරිස් තිස්දෙනකු පමණ සිටින බවත් ඔවුන් එක් කල්ලියකට දහදෙනා බැගින් සම්බන්ධ වී ඇති බවත් අත්අඩංගුවට ගෙන ඇති පාතාල සාමාජිකයන් විසින් හෙළිකොට තිබේ.

දැනට හෙළිවී ඇති තොරතුරු සම්බන්ධයෙන් පාතාලය මැඬලීමේ මෙහෙයුම් කටයුතු භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණ යටතේ පොලිස් කොට්ඨාස මට්ටමින් විශේෂ පොලිස් කණ්ඩායම් ගණනාවක් යොදවා තිබේ.

එවැනි අන්දමේ පාතාල සාමාජිකයන්ට රැකවරණය ලබාදෙන සහ සුඛෝපභෝගී වාහන ලබාදෙන පුද්ගලයන්ද අත්අඩංගුවට ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.

මේ වන විට සිදුකර ඇති මෙහෙයුම්වලින් පාතාල නායකයන් 36 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවට පසුගිය සතියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පොලිස් කොට්ඨාස මෙහෙයුම් ඒකක මඟින් වාර්තාවක් ඉදිරිපත් කොට තිබිණි.

Share on Google Plus