Srilankan ගුවන් යානයකට අනතුරු ඇඟවීමක්.


සිංගප්පූරුවේ සිට ශ‍්‍රී ලංකාව දක්වා ගමන් ආරම්භ කර කෙටි වේලාවකට පසු සිංගප්පූරුව වෙත ආපසු හරවා චැන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වූ ශ‍්‍රී ලංකන් ගුවන් යානය අද (15) අලුයම නැවත ශ‍්‍රී ලංකාවට පැමිණියා.

යූ.එල්. 309 දරන මෙම ගුවන් යානය ගුවන්ගත කර කෙටි වේලාවකින් මෙලෙස ආපසු හරවනු ලැබූයේ සිංගප්පූරුවේ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ විසින් කෙරුණු ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිසායි.

චැන්ගි ගුවන් තොටුපොළට ගොඩබැස්වීමෙන් පසු යානයේ සිට මගීන් කිහිපදෙනෙකුගෙන් සිංගප්පූරු පොලිසිය සහ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර තිබෙනවා. ඔවුන්ගෙන් පස් දෙනෙකුගෙන් තවදුරටත් රඳවාගෙන ප‍්‍රශ්න කෙරෙන බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ.

යානය භාරයේ තිබූ සියලු ගමන් මලුද චැන්ගි ගුවන් තොටුපොළේදී පිටතට ගෙන නැවත පරීක්ෂා කර තිබෙනවා.කෙසේ වෙතත් කිසියම් යානයක් ගුවන් තොටුපොළකින් ගුවන්ගත කිරීමට පෙර එහි සියලු පරීක්ෂා කිරීම් නිසි ලෙස අවසන් කළ යුතු බවට ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතියක් තිබෙන බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටියේ. 

එසේ තිබියදී යූ.එල්. 309 දරන ගුවන් යානය ගුවන්ගත කර කෙටි වේලාවකින් ආපසු හරවා නැවත පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් කරුණු විමසා සිටින බවද එම සමාගම පැවසුවා. 

තමන් සෑම විටම තම යානාවන්ගේ, මගීන්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව කෙරෙහි ප‍්‍රමුඛත්වයක් ලබාදෙන බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් පවසන්නේ.

යූ.එල්. 309 දරන යානය සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය තම පාලනයෙන් ඔබ්බට සිදුවූවක් බවද ඔවුන් කියා සිටියා. 


Share on Google Plus