නව පොලිස්පති නිර්දේශයට සමාජ මාධ්‍ය ජාල ප්‍රසාදය.


ශ්‍රී ලංකාවේ 34 වෙනි පොලිස්පති පදවියට නිර්දේශ වී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දරට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි ප්‍රසාදයක් පලවෙමින් පවතී.

මීළඟ පොලිස්පතිවරයා ලෙසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර පත්කරන මෙන් සඳුදා රැස්වුනු ව්‍යවස්ථා සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිර්දේශ කළේය.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන බොහෝ ශ්‍රී ලාංකිකයන් එම නිර්දේශය අනුමත කරන හැඩකුයි දක්නට ලැබෙන්නේ.

ෆේස්බුක් අඩවිය ඔස්සේ අදහස් දක්වන අති බහුතරය ඔහුට සුභ පතා තිබිණි.

සමස්ත මතය?

පොලිසිය ජනතාවගේ දෝෂදර්ශනයට ලක්වන ආකාරයයි, සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දක්නට ලැබෙන්නේ. ශ්‍රී ලංකාවාසීන් අතරින් වැඩිහිටි පරපුරේ විශාල පිරිසක් සමාජ මාධ්‍ය ජාල භාවිත නොකරන බැවින් එමගින් සමස්ත සමාජයේ මතය නියෝජනය කෙරෙන්නේද යන්නත් ප්‍රශ්නයක්.

සමස්තයක් වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර ජනප්‍රිය පොලිස් නිලධාරියකු වුවත්, පසුගියදා කොළඹදී උද්ඝෝෂණයේ යෙදුනු උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොලිස් පහරදීම සාධාරණීකරණය කිරීම හේතුවෙන් ඔහු ජනතා විවේචනයටද ලක්විය.
ව්‍යවස්ථා සභාවේ නිර්දේශය ප්‍රකාර ශ්‍රී ලංකාවේ තිස් හතර වන පොලිස්පතිවරයා වශයෙන් පූජිත් ජයසුන්දර බොහෝ විට අඟහරුවාදා දිවුරුම් දෙනු ඇති බවයි, විශ්වාස කෙරෙන්නේ.

හිටපු පොලිස්පති එන්කේ ඉලංගකෝන් විශ්‍රාම යෑම හේතුවෙන් පුරප්පාඩු වූ පොලිස්පති තනතුරට පූජිත් ජයසුන්දර සමඟ එස්එම් වික්‍රමසිංහ සහ චන්දන වික්‍රමරත්න යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද යෝජනා වී තිබිණි.

Share on Google Plus