ඒකාබද්ධ විපක්ෂය සුද්දන් ඉදිරියේ දණින් වැටෙනවා.


එදා සුද්දන් ඉදිරියේ වීරයෝ වූ ඒකාබද්ධ විපක්ෂය අද ජිනීවාහි සුද්දන් ඉදිරියේ දණින් වැටෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

පසුගිය කාලය පුරාවට පපුවට ගහගෙන මහා ආඩම්බරකාර අයුරින් දේශප්‍රේමීන් ලෙස ජීවත් වූ මිනිස්සු, තමන්ට විතරයි මේ රට ගැන කැක්කුම තියෙන්නේ ,මේ රට බේර ගන්නත් දියුණු කරන්න ඉන්නේ තමන් විතරයි කියමින් හොරකම් කළ උදවිය නැවත වරක් කරලියට පැමිණ අැති බවත් දැන් ඔවුන් ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවරට ගොස් අපේ රට පාවා දීමට හා රටට විරුද්ධව කේලාම් කියන්නට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.

''නිකමට හරි මේ වෙන කොට එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුවක් තිබුණානම් ඔවුන් දේශප්‍රේමී සලුවට මුවා වෙලා , මාධ්‍ය ආයතන විනාශ කරන එක, මිනිමැරුම් කිරිම, හොරකම් කිරීම ගැන එක්සත් ජාතික පක්ෂය ජීනීවා නුවරට ගිහිල්ලා ඒ සම්බන්ධව පැමිණිලි කරා නම් අන්න දේශද්‍රෝහියෝ සුද්දෝ ගාව දනින් වැටෙනවා , මේ අය පරදේශක්කාරයින්ගේ ගැත්තෝ කියලා කියනවා. අපි අහනවා දැන් පරදේශක්කාරයන්ගේ දෙපතුල් ගාව දැන් වැටිලා ඉන්නේ කවුද කියලා.මේ ගැන මහා දේශප්‍රේමී විමල් වීරවංශ සූරීන්ගෙන් අහන්න තියෙනවා මොකද කියන්නේ කියලා. මේ දෙබිඩි නාට්‍ය දෙමුහුන් රංගනය අපේ රටේ ජනතාව තේරුම් ගෙන තියෙනවා''

ඒකාබද්ධ විපක්ෂය ජිනීවා යනවිට උතුරෙන් මරාගෙන මැරෙන බොම්බ කට්ටල ලැබෙන බවත් බුද්ධි අංශ නොදන්නා දේ පවා මෙම පිරිස දන්නා බවත් හෙතෙම වැඩි දුරටත් සදහන් කර සිටියේය.

''ජී.එල්. පීරිස් මහත්තයා කියෙනවා මේ බෝම්බ කට්ටල ගෙනල්ලා වැල්ලවත්ත ගෙයක තියලා කොළඹ පුපුරවන්න හදනවා කියලා. අපි දන්නවා මේ ඒකාබද්ධ විපක්ෂයට පුදුම වුවමනාවක් තියෙනවා කවුරු හරි එකතු වෙලා අඩුම වශෙයන් මේ ආණ්ඩුව පෙරලීමට තුත්තිර ගහක එල්ලිලා හරි මොනවාහරි කරන්න.

මොවුන් කියලා තිබුණා මේ හොයාගත්තේ ටිකයි තව හොයාගන්න ගොඩාක් තියෙනවා කියලත්. අපේ බුද්ධි අංශයවත් හමුදාවත් නොදන්න දේවල් මේ අය දන්නේ කොහොම ද ඒ අනුව අපිට සැකයක් එනවා මේ දෙගොල්ලෝ එකතු වෙලා අපේ රට බෙදන්න කරපු නාඩගමක්ද කියලා මේක. මොකද අපි පැහැදිලවම දන්නවනේ 2005 ජනාධිපතිවරණයේදී එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ට සල්ලි දීලානේ මොවුන් බලයට ආවේ මේ අය නැවත වතාවක් බලයට එන්න ඉතුරු වෙලා ඉන්න එල්ටීටීඊ හොල්මන් එක්ක එකතු වුනත් අපිට පුදුම වෙන්න දෙයක් නෑ.''

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ යහපාලන රජය ඒකීය රටක් තුළ රටේ ජාතික ආරක්ෂාවට තහවුරු කර සියලුදෙනාටම ශ්‍රී ලාංකිකයකු ලෙස ජීවත් විය හැකි වාතාවරණය නිර්මාණය කර අැති බවයි.

ඒ නිසාම ඉදිරි අවුරුදු හතරහමාරට මහා මැතිවරණ නොමැති බවත් ජිනීවා නෙමෙයි කොහේ ගියත් නැවත 2020 වෙනකම් බලයට ඒමට මෙම පිරිසට හැකියාවක් නොලැබෙන බවයි.

Share on Google Plus