දහමට වඩා ලොකු වී ගැලවිජ්ජාව සිවුරට අහිමි වී ඇත විළි ලැජ්ජාව.


වියපත්ව සිටිය ද උන්වහන්සේ නැගී සිටි සේක. මේ මැදින් මාසයයි. සාහිත්‍ය වර්ෂ දෙදහස් පන්සියයකට පෙර එක් මැදින් මාසයක දවසක, කිඹුල්වතට වැඩි අයුරු උන්වහන්සේ මෙනෙහි කළ සේක.

එසේ මෙනෙහි කරමින් මැදින් මාසයේ අවසන් රාත‍්‍රිය ගෙවමින් සිටි උන්වහන්සේට තමන් වහන්සේ මුණගැසෙන්නට පැමිණි පිය රජු කී දෑ සිහිපත් විය. ‘‘ඔබ වහන්සේ මේ මොනවාද කරන්නේ? පිඬුසිඟා වඩිනවා කියා ලොකු නමක් යෙදුවාට මේ කරන්නේ සිඟා කෑම නොවැ. මේක ඔබ වහන්සේට ගැළපෙන දෙයක් නොවේ. ඔබ වහන්සේ රාජ වංශිකයෙක්. ඔබ වහන්සේ අහර සිඟාගෙන පාරවල් ගාණේ ඇවිදින එක හොඳ වැඩක් නොවේ. කරුණාකර මේ වැඬේ නවත්තලා මාලිගාවට ඇවිත් රාජ භෝජන වළඳන්න.’’

අතීතය සිහිපත් කරන උන්වහන්සේගේ සිතට සිනා පහළ වූයේය. පිය රජුට තමන් වහන්සේ කී වදන් යළි ප‍්‍රතිරාව නැංවිණි. ‘‘මහරජ, ඔබේ වංශයේ අය එහෙම කරනවා වන්නට පිළිවන. ඒත් මගේ වංශයේ අය හැමදාම වැඩ කළේ මෙන්න මේ පිළිවෙළටයි. මගේ වංශය සහ ඔබේ වංශය අතර වෙනස තේරුම් ගන්න.’’ මෙන්න මේ දේවල් සිහිපත් කරමින් දෙහිවල පැත්තේ සිට බෙල්ලන්විල හරහා මහරගම දෙසට සක්මන් කරමින් සිටින සඳ, උන්වහන්සේ ඉදිරිපිටට ආවේ පිටිදූවේ සිරිධම්ම නමැත්තෙකි. ‘‘ඔහේට පිස්සුද? ඔහේ හොඳයි ග‍්‍රාම සේවක කමකට. බලනවා මගේ මාලිගාව! කොහොමද මගේ සිංහාසනේ? මම වළඳන රජ බොජුන් දැක්කානම් ලැජ්ජා හිතෙයි ඔහේට’’

සිරිධම්මට ඉඩ දී පාරෙන් පසෙකට වී මඳ වේලාවක් සිට උන්වහන්සේ නැවතත් ගමන ආරම්භ කළේය. බෙල්ලන්විල පන්සල ළඟින් සක්මන් කරන විට මොකක්දෝ ප‍්‍රාකාරයක සිටි ඇතෙකුගේ රුවක් උන්වහන්සේගේ නෙත ගැටිණි. උන්වහන්සේට පාරිලෙය්‍ය වනයේ සිටි පාරිලෙය්‍ය හස්ති රාජයා සිහිපත් විය. එකම ඉරහඳ යට එකම ගහකොළ මැද ආත්මගත ස්වභාවධර්මයේ විස්මයජනක සහෝදරත්වය බෙදා හදා ගත්තා මිසක පාරිලෙය්‍ය ඇතා බරණැස ඉසිපතනාරාමයේ හෝ ජේතවනාරාමයේ යකඩ දම්වැල් දමා ගැට ගසාගන්නට උන්වහන්සේ කල්පනා නොකළ සේක. සක්මන මහරගම පසුකර පන්නිපිටියට ළඟා වී තිබිණි.

‘‘ඔය යන්නේ අඥාන මහණා. අලියෙක් හදාගන්න බැරි මහණෙක් ලොවකට මොකටද ?’’ කොළොන්නාවේ සුමංගල නමැත්තෙක් කෑගෑවේය. ‘‘මේ පොඩි ලංකාවේ මෙහෙම අලි ඉන්නවානම් අර සා විසල් මහා භාරතයේ කොහොම අලි ඉන්ට ඇද්ද? හනේ හනේ එයින් එකෙක් අරං ගස් බැඳගන්ට බැරි වුණු උන්දැ එනවා මෙතන අපට බණ කියන්ට !’’ සුමංගල කී දේ නෑසූ කන්ව උන්වහන්සේ සක්මන් කළහ. කිරුළපන ඇලන් මැතිනියාරාමය පසුවෙමින් තිබිණි. ‘‘මේ අඩුගානේ දාලවත් ගියේ නැද්ද අනේපිඬු හරි විශාකා හරි මොකෙක් හරි එකෙක් පෙරහැරකට ගෙනා එකෙක්වත්?’’ උඩුවේ ධම්මාලෝක නමැත්තෙක් තාප්පයෙන් එබී කෑ මොර දෙද්දී උන්වහන්සේ කොළඹ දෙසට වැඩියහ.

‘‘මිනීමැරුම් නඩුවේ සැකකාර නිලධාරීන් වහා නිදහස් කරන්න!’’ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස කියා කෙනෙක් හඬ නැගීය. උන්වහන්සේ එදෙසට ගිය සේක. ‘‘කිමද සද්ධාතිස්ස? නුඹ ද මා ගිය මඟ යමින් - මා අංගුලිමාලයන්ට මෙත්සිත පෑවා සේ උන් නිවන් මඟ පාදනු පිණිස මෙත් මුදිතා වඩන්නේද?’’ කියා විමසූ සේක. ‘‘මෙයා මේ මගුලක් කතා කරනවා. මුං ලව්වා තමයි අපි පුළු‍වන් තරම් දෙමළු‍ මැරෙව්වේ. එහෙව් කොල්ලන්ව පෝරකේට යවන්න දෙන්න පුලූ‍වන්ද ? කවුද මේ එක්ණැලිගොඩයට කත් අදින එන්ජී ඕ කාක්කා ?’’ කියමින් බෙංගමුවේ නාලක නම් පුද්ගලයාට මේ අමුත්තාව පෙන්වූයේය. බෙංගමුවේ නාලක එතැනට පැමිණියේ ඇල්ලේ ගුණවංශ නම් තැනැත්තකු ද සමඟිනි.

පළමුව කතා කළේ නාලකය. ‘‘මේ උන්නැහේ, චීවරය පෙරව ගත්තා නම්, ඒ විදිහට හැසිරෙනවා. මේක සිංහලයගෙ රට. මේක බෞද්ධයගෙ රට. මේක එක එකාට අයිති කරගන්ට දෙන්ට බෑ. සාමය සහජීවනය කිය කිය එන පරයන්ට විරුද්ධව කැති මන්නා ගන්ට වුණත් අප පැකිළෙන්නේ නැහැ.’’ මෙබස අසා උන්වහන්සේ සැලී ගියේය. ඒ නොසැලෙන ගුණ නැති නිසා නොව මනුසත් ගුණ ඇති නිසාය. ගුණවංශ කතා කරන්නට පටන් ගත්තේය. ‘‘තමුසේ කවුද කියල අපි අඳුරන්නෙ නැහැ. හැබැයි උවමනානම් උදව් කරන්ට පුළුවනි. කොළඹට කිට්ටුවෙන් ආරාමයක් රෙන්ට් එකට ගමු. පස්සෙ ටික දවසකින් සල්ලිවලටම ගමු. කැමතිනම් ජාතික ව්‍යාපාරෙට සෙට් වෙන්ඩ. මොනවද අඩු ඊට පස්සේ!’’

නාලකලා ගුණවංශලා ‘හැක හැක’ ගා සිනාසෙන අතරතුරේ උන්වහන්සේ වැඩියේ නාරාහේන්පිට දෙසටය. අභයාරාමයේ හෙදියන් පිරිවරාගෙන සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද නමැත්තා, ඈතදීම උන්වහන්සේ දුටුවේය. ‘‘අර එන්නේ කඩාකප්පල්කාරියා. මට ඇල්ලේ ටෙලිෆෝන් කර කිව්වා ඔන්න එනවා මානසික රෝගියෙක් ඔය පැත්තට කියා’’ යනුවෙන් හෙදියකට කීවේය. ‘‘ඔය යකාට මේ පැත්ත පළාතේ එන්න දෙනවා හෙම නෙවේ. පෙනුමත් ඕනෑවට වැඩියි ටිකක්.’’ මේ හඬ ඇසුණත් නෑසුණා සේ උන්වහන්සේ අභයාරාමය පසුකර ගමන් කළේය. ගෙන්දගම් පොාළාවේ කැකෑරෙන රශ්මිය උන්වහන්සේගේ දෙපතුල පෙළු‍වේය.

කන්ද උඩරට දෙසට සක්මන් කරමින් සිටියදී කඩපිලකින් වතුර උගුරක් ඉල්ලා පානය කළ උන්වහන්සේ මොහොතක් විවේක සුවයෙන් ගත කළ සේක. මිනිසෙක් පුවත්පතක් කියවූයේය.

‘‘ආණ්ඩුකාරකමට ගෑනියෙක් ආව එකට අස්ගිරි පාර්ශ්වය කැමති නැහැයි කියන්නේ. මාළිගාවෙ වත්පිළිවෙත්වලට අමාරුයි කියන්නේ.’’ මිනිසා තවත් මිනිසකුට කීවේය. මෙය අසා සිටි උන්වහන්සේට සිනහ පහළ විය. ධර්මයට වඩා විශාල මාළිගාවක් කොයින්ද? මහමායාවන්ගේ දයාර්ද්‍ර මුහුණ උන්වහන්සේගේ සිතෙහි ඇඳී ගියේය. ප‍්‍රජාපතී ගෝතමියගේ ඇකයෙහි මාතෘ උණුසුමෙහි මතකය උන්වහන්සේගේ නෙත කරුණාවෙන් තෙත් කළේය.

මා හදා වඩාගන්නට ගැහැනියකට පිළිවන් වී නම්, මගේ යැයි සැලකෙන අස්ථියක් ගැහැනියකට ගෙන එන්නට පුළුවන්නම් එය රැඳවූ තැන ගැහැනියකට තහනම් වන්නේ කුමන වත් පිලිවෙතදැයි උන්වහන්සේ කල්පනා කළේය. එසේනම් ඊට පෙර එම ධුරය දැරූ කාන්තාවකට එකී තහනම බල නොපෑවේ මන්ද යන්න උනවහන්සේට ප‍්‍රශ්නයක් විය. ‘‘මේ මාගේ ධර්මය නොවේ. බමුණන්, ගෝත‍්‍රවාදීන්, මාගේ ධර්මය කෙලෙසා ඇත. සියලූ‍ සත්වයන් කෙරෙහි කරුණාවෙන් මා දෙසූ ධර්මය දූපතකට මායිම් කර එළිමහන් සිර කඳවුරක රඳවා ඇත. මා දෙසූ දහමට සහමුලින් පටහැනි දේ කරන්නන් ඊටම මුවා වී කඳ බඩ වඩා ගනිමින් ඇත.’’

උන්වහන්සේ මෙසේ සිත සිතා කඩුගන්නාව නගිමින් සිටියේය. ඒ යන ගමනේ දී උන්වහන්සේට තමන් වහන්සේ සේම වියපත්ව, රෙදි කැබැල්ලක් පමණක් ඉණේ දවටාගෙන කන්ද නගින මිනිසෙක් මුණගැසිණි. කුරුස ගසක් කර තබාගෙන කන්ද නගිමින් සිටි ඒ මිනිසා කතා කළේය. ‘‘ගෞතම, මේ කඩුගන්නාව නොවෙයි, මේ කල්වාරිය. මා මෙන්ම නුඹව ද පාවා දී අවසන්. ඔව්, මේ වන විට සියල්ල අවසන්. දෙවුදත්ලා අජාසත්ලා හෙරෝද්ලා පිලාත්ලා සියල්ලෝම එක පිලේ එක පෙළට සිටගෙන අවසන්. මරිය මව් මහාමායා සමඟ අතුරුදන් පුතුන්ගේ පින්තූර රැගෙන මහපාරේ. සුනීතලා සෝපාකලා කඳුළු ගෑස් මැද වැළපෙනවා. මරිය මග්දලේනලා ලෝකයට බියේ හැංගෙනවා. ඔබත් මමත් කුමක් කරන්නද?’’

උන්වහන්සේ කුරුස ගස ගත් කාරුණික මිනිසාට උපකාර වනු පිණිස කුරුසියේ අනෙක් කෙළවරකට කර දුන් සේක. උන්වහන්සේලා කුරුස ගස රැගෙන කන්ද නගින දසුන හතර වටින් නැග ආ අඳුර මැද දුටු කෙනෙක් සිටියේ නැත. සියලූ‍ ජනතාවෝ රූපවාහිනී නරඹමින් සිටියහ. රට රකින භික්ෂූන් වහන්සේලාගේ ලොමු දැහැගන්වන උද්ඝෝෂණවලින් රූපවාහිනී නාලිකාවන්ගේ ප‍්‍රවෘත්ති පිරී ගොස් තිබිණි. උන්වහන්සේලා රජයට අර්ථයෙන් ධර්මයෙන් අවවාද දීමට මඟ බලා සිටියහ. මේ අතර කාදිනල්වරයා ඇමැතිවරයකු සමඟ ජනතාව වෙනුවෙන් සාකච්ඡා කළ බව ද ප‍්‍රවෘත්තියකින් කියැවිණි. කුරුසිය ඔසවාගෙන කඩුගන්නාවේ කල්වාරිය නගිමින් සිටි මනුෂ්‍ය පුත‍්‍රයෝ, ඔවුන් වහන්සේලාගේ දෑස්වල ඉපදුණු කඳුළු විලසින්ම මහා අන්ධකාරයේ අතුරුදන් වී ගියෝය.

- විමල් කැටපෙආරච්චි
SathHandha.lk

Share on Google Plus