මහින්ද පාර්ශවය සැර බාල කරයි.


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ ගැටුම්කාරීත්වයකට නොගොස් ඉදිරි වසර දෙක ඔහුට සහාය දෙන ප‍්‍රතිපත්තියක් අනුව කටයුතු කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂය මේ වන විට තීරණයක් ගෙන තිබේ.

මේ අනුව බැසිල් රාජපක්ෂ මහතා උත්සාහ කරමින් සිටින නව පක්ෂයක් ගොඩනැගීමේ කටයුතුවලට සහාය නොදිය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ බුද්ධි මණ්ඩලය නියෝජනය කරන පිරිස පසුගිය සතියේ තලවතුගොඩ මොනාච් හෝටලයේ පැවති සාකච්ඡුාවක දී එකඟත්වයකට පැමිණ ඇත. මේ සාකච්ඡාව සඳහා ආචාර්ය දයාන් ජයතිලක, ලක්සිරි ගුණරුවන්, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය සුමනසිරි ලියනගේ ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

කෙසේ නමුත් මෙම සාකච්ඡාවේ දී අවශ්‍ය වන්නේ ශ‍්‍රීලනිප ආණ්ඩුවක් බව දයාන් ජයතිලක මහතා අවධාරණය කර ඇත. බැසිල් රාජපක්ෂ මහතා උත්සාහ ගනිමින් සිටින්නේ ආසන සංවිධාන සකසා පක්ෂයක් පිහිටුවා එහි පක්ෂ නායකත්වය ගැනීමට බවත් එය ජනාධිපතිවරයා සමඟ බරපතළ ගැටුමකට තුඩු දිය හැකි බවත් මෙහි දී කතා බහට ලක්ව ඇත. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය කලින් සැලසුම් කළ මැයි රැලිය නොපැවැත්වීමටත් තීරණයක් ගෙන ඇත.

ඉදිරි වසර දෙක යනතුරු කවර හේතුවක් මතවත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය සමඟ වන සම්මුතික ආණ්ඩු ගිවිසුම කඩ නොකරනු ඇති බවත් එම නිසා ශ‍්‍රීලනිප ආණ්ඩුවක් ගැන කතා කළ යුත්තේ එම ගිවිසුම් කාලයෙන් පසුව බවත් මෙහි දී විද්වතකු පෙන්වා දී ඇත. එතෙක් ජනාධිපතිවරයා සමඟ සුහදව කටයුතු කළ යුතු බවත් සම්මුතික ආණ්ඩු කාලය අවසන දී ජනාධිපතිවරයාට තීරණාත්මක වන නිසා ඔහු ශ‍්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා පොලඹවා ගැනීම පහසු බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

කෙසේ නමුත් මේ වන විටත් මහින්දවාදී පාර්ශ්වය හා මෛත‍්‍රී පාර්ශ්වය අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිව කටයුතු කරමින් සිටී. පසුගිය හයිඞ් පාර්ක් රැලියට ගිය ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට එරෙහිව වන විනය පරීක්ෂණ අකුළා ගැනීමට ශ‍්‍රීලනිපය කටයුතු කර ඇත. එමෙන්ම පසුගිය දා අනුරාධපුරයේ විවෘත වූ රජරට විස්කම් ප‍්‍රදර්ශනයේ සංවිධාන කටයුතු කළ දැඩි මහින්දවාදියකු වන උතුරුමැද පළාත් හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත් විසින් එම ප‍්‍රදර්ශනය විවෘත කිරීම සඳහා ආරාධනා කර තිබුණේ කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායකටය. දැඩි දේශපාලන සතුරු භාවයකින් කටයුතු කළ මේ දෙදෙනා පසුගිය කාලයේ ප‍්‍රසිද්ධියේ බැණ අඬ ගසා ගැනීම ද සිදු කර තිබිණි.

Sathhanda.lk

Share on Google Plus