SFට, රවීට හෝ මහ බැංකු අධිපතිට ගුවන් හමුදා හෙලිකොප්ටර් දීල නැහැ.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා කිසිදු අයුරකින් අවභාවිතයක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි.

ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින්, රජයේ ඉහල නිලධාරීන් විසින් සිය ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා කිරීම ඉහල යාම නිසා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් සඳහා වන වියදම විශාල ලෙස ඉහල ගොස් ඇතැයි පළවන වාර්තා සත්‍යයෙන් තොර බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් චන්දිම අල්විස් මහතා සඳහන් කළේය.

එලෙස බාහිර පාර්ශවයක පරිහරණය සඳහා හෙලිකොප්ටර් ලබා දෙන්නේ නම් ඒවා නියමිත ක්‍රමවේදයන්ට අනුව අදාළ ගෙවීම් සිදු කර ලබා ගත යුතු වේ. එමගින් කිසිදු ලෙසකින්වත් ගුවන් හමුදාවට පාඩුවක් සිදු නොවන බවත් අදාළ අදායම් රජයට හිමිවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කරනු ලැබීය.

ඇතැම් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුනේ ආණ්ඩුවේ දේශපාලඥයින්, රජයේ ඉහල නිලධාරීන් විසින් සිය ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා කිරීම ඉහල යාම නිසා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් සඳහා වන වියදම විශාල ලෙස ඉහල ගොස් ඇති බවයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා සඳහා සාමානයයෙන් ගුවන් හමුදා හෙළිකොප්ටර් ලබා දුන්නද ඇතැම් මැති ඇමතිවරුන්ද විවිධ කාරණා සඳහා හෙලිකොප්ටර් යොදා ගැනීම නිසා මෙම තත්වය උදා වී ඇති බවද එම මාධ්‍ය සඳහන් කර තිබුණි.

එසේම අලූත් අවුරුද්ද සඳහා හිසතෙල් ගෑමේ උත්සවයට ඇමති සරත් ෆොන්සේකා මහතා ගොස් තිබුණේ හෙලිකොප්ටරයකින් වන අතර මුදල් ඇමතිවරයා මෙන්ම මහ බැංකුවේ අධිපතිවරයාද පසුගිය දිනවල කතරගම ගොස් තිබුනේ හෙලිකොප්ටර්වලින් බවට දැක්වුණි.

නමුත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේ ඉකුත් අලුත් අවුරුදු සැමරුම් සතියේ දී කිසිදු අයුරකින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා මෙලෙස පෞද්ගලික පරිහරණයට ලබා දී නොමැති බවයි.

කෙසේ නමුත් මේ මාසයේ දී මහබැංකුව විසින් එක් හෙලිකොප්ටර් යානාවක් සහ පසුගිය මාසයේ දී යානා 03ක් ලබා ගෙන ඇති අතර ඒවාට අදාළ ගෙවීම් නිසි පරිදි සිදු කර ඇතැයි ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Share on Google Plus