රනිල් - මහින්ද දෙන්නම ඉන්දියාව රවට්ටලා.


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ දී මෙරට සංවර්ධන කටයුතු සහ චීන ණය ආධාර මත කෙරුණු ව්‍යාපෘති සම්බන්ධයෙන් අනුගමනය කිරීමට යෝජිත කරුණු සම්බන්ධයෙන් ඉන්දීය රජය කනස්සල්ල පළ කර ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන්ම ප‍්‍රමාණවත් ආදායම් නොලබන නිරර්ථක ව්‍යාපෘති වූ හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා චීනයෙන් ලබා ගෙන ඇති ණය ගෙවීම සම්බන්ධයෙන් ඇති නොහැකියාව මත එම ණය වත්කමක් කර (Debt-equity swape) මෙම ව්‍යාපෘති දෙක චීනයටම පැවැරීම ගැන කෙරුණ සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩිව කරුණු දක්වා තිබේ. මෙම ව්‍යාපෘති දෙක ඉන්දියාවට ලබා ගැනීමේ උත්සාහයක් පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ සිටම ක‍්‍රියාත්මක විය. චීනයට මෙම ව්‍යාපෘති ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව මුල සිටම විරෝධය දක්වා තිබිණි.

කෙසේ නමුත් රාජ්‍යතාන්ත‍්‍රික ආරංචි මාර්ග පවසන්නේ මේ සම්බන්ධයෙන් වහාම සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස ශ‍්‍රී ලංකා ආණ්ඩුව තුළ යමක් කළ හැකි බලයක් සහිත අයකු වහාම ඉන්දියාව හා සම්බන්ධ කරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා තිබූ බවය. ඒ අනුව වික‍්‍රමසිංහ මහතාට සමීපතම ප‍්‍රබල ඇමැතිවරයකු පසුගිය දා ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බවත් දැන ගැනීමට ඇත.

මෙහි දී ඉන්දියානු නියෝජිතයන් විසින් පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී එම රාජපක්ෂවරු ද ඉන්දියාව රැවටූ බවත් වර්තමාන පාලකයනුත් ඉන්දියාව රවටමින් සිටින බවත් චෝදනාවක් කර තිබේ. එහි ප‍්‍රතිඵල ලෙස රාජපක්ෂවරුන්ට අත් වූ ඉරණම ගැන ද මෙහි දී පෙන්වා දී තිබේ. මේ තත්ත්වය මත චීනය සමඟ ගොඩනඟා ගත් සුහදතාව පවත්වාගෙන යාම ගැටලූසහගත වී ඇත. පසුගිය රජය සමයේ දී ද කොළඹ වරාය නගරය ඉදිකිරීම සම්බන්ධයෙන් හා චීනය සමඟ වන සමීපතාව ගැන ඉන්දීය ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතාට කරුණු දක්වා තිබිණි. එහි දී චීනය සමඟ වන ගනුදෙනු සියල්ල ඉන්දියාවේ අනුදැනුම යටතේ සිදු කරන බවට රාජපක්ෂවරු ඉන්දියාවට පොරොන්දු වී තිබූ නමුත් එම පොරොන්දුව කඩ කෙරිණි.

ආණ්ඩුව හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ පැවැරීම ගැන මහත් බලාපොරොත්තු තබා තිබෙන නමුත් චීනයේ ප‍්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයකු වන බායි මිංග් මහතා චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිවලින් ස්ථිර ලාභයක් නොමැති බව පෙනී ගියහොත් මේ එකඟ වීම සිදු නොවිය හැකි බවය. චීනයේ ආර්ථික ප‍්‍රතිපත්ති දේශපාලන හේතු මත වෙනස් කළ නොහැකි අතර එය ප‍්‍රතිපත්තිමය වශයෙන් වෙනස් නොවන දැඩි ක‍්‍රියාවලියකි. එමෙන්ම ලාභ නොලබන ව්‍යාපෘති වෙනුවෙන් චීනය අත නොගසනු ඇති බවත් චීනයේ රාජ්‍ය මාධ්‍ය විසින් පෙන්වා දී තිබේ. චීනයට වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ ආයෝජන සුරක්ෂිතතාව යි. සුආන්ග් රුයි නම් විශ්වවිද්‍යාල ආචාර්යවරයා පවසන පරිදි ශ‍්‍රී ලංකාව කරන මෙම ඉල්ලීම චීනයට කිසිදු වාසියක් ගෙන නොදෙන අතර එය ණය ප‍්‍රතික්ෂේප කිරීමකට සමාන වේ.

ඉහත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවල දී ශ‍්‍රී ලංකාව, චීන ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 8 ක ණය සහන ඉල්ලා සිටී. ශ‍්‍රී ලංකාව නුදුරේම නව ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා නීති ප‍්‍රතිසංස්කරණ කිරීමට බලාපොරොත්තු වන බව ද දැන ගැනීමට ඇති නමුත් කොළඹ වරාය නගරය ව්‍යාපෘතියට අරමුදල් සපයන චීන සමාගම එය නවතා දැමීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක වන්දියක් ඉල්ලා සිටියත් ශ‍්‍රී ලංකාව එය ගෙවීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර සාකච්ඡා කිරීම ද ප‍්‍රතික්ෂේප කර තිබේ. මෙය තම ව්‍යාපාර ජාත්‍යන්තර වශයෙන් පුළුල් කිරීමට බලාපොරොත්තු වන චීන සමාගම්වලට අනතුරු ඇඟවීමක් බව සුආන්ග් සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවෙන් ණය අය කර ගැනීම සම්බන්ධයෙන් චීනය පත්ව ඇති දුෂ්කරතාව නිසා චීන සමාගම් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන රටවල්වල සහ කලාපවල දේශපාලන තත්ත්වය, සංස්කෘතිය, සාම්ප‍්‍රදායික සිරිත් විරිත් සහ නීති පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ආර්ථික විශේෂඥ බායි මිංග් පවසා සිටීම ශ‍්‍රී ලංකාව පහත් කොට සැලකීමක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

-SathHandha

Share on Google Plus