ශිරන්තිට දුන් ඩිෆෙන්ඩරය නිසා රතු කුරුස අධ්‍යක්‍ෂට නොතීසි


හිටපු සමාජ සේවා අමාත්‍ය ෆිලික්‌ස්‌ පෙරේරා මහතා විසින් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ "සිරිලිය" සුබසාධන සංවිධානයට ලබාදීමෙන් අනතුරුව ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදාගත් බව කියන ඩිෆෙන්ඩර් රථය භාරගැනීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා රතුකුරුස සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්‍ෂවරයා වෙත නොතීසි යවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

කලක්‌ සී. එස්‌. එන්. නාලිකාවේ අධ්‍යක්‍ෂවරයකු විසින් ද භාවිත කොට ඇතැයි කියන එම ඩිෆෙන්ඩර් රථය එවකට රජයේ ඉහළම ප්‍රභූවරයකුගේ පුත්‍රයකුගේ අවශ්‍යතාව අනුව මෝටර් රථ කොමසාරිස්‌වරයාගේ අනුමැතියකින් තොරව මුල් වර්ණය වෙනස්‌ කොට ඇති බවත් 2015 ජනාධිපතිවරණයෙන් පසුව හෝමාගම ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දී තිබිණි. රස පරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂාව සඳහා ඉදිරිපත් කළ එම රථය සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් බැවින් එය ලියාපදිංචි හිමිකාර රතුකුරුස සංවිධානයට භාරදීමට පියවර ගන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්‌වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා ලබන මැයි 11 වැනිදා දක්‌වා නඩුව කල් තබමින් එම නියෝගය නිකුත් කළේය.


Share on Google Plus