කිරුළපන රැලිය ස්‌ථිරයි



මොන තර්ජන දැම්මත් කිරුළපන මැයි රැලිය ඒකාබද්ධ විපක්‍ෂය විසින් පවත්වනවා යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා  ඊයේ (24 වැනිදා) පැවැසීය.

කිරුළපන මැයි රැලිය පවත්වන්නේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව ජනතාව මත බදුබර පටවමින් ජනතාව පීඩාවට පත් කරමින් ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය දක්‌වමින් බවද හෙතෙම කීය.

එක්‌සත් ජාතික පක්‍ෂ රජයට විරුද්ධව ඉතිහාසයේ දැවැන්තම විරෝධතා මැයි පෙළපාලිය කිරුළපනදී පවත්වන අතර එහිදී රජයට එරෙහිව සිදුකරන සටන්පාඨ ගාල්ල රැලියට ගොස්‌ ප්‍රකාශ කළ හැකිදැයි රණතුංග මහතා ප්‍රශ්න කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගාල්ල රැලියට නොපැමිණියහොත් ශ්‍රීලනිපයෙන් ඉවත් කරන බවට ඇතැමුන් ප්‍රකාශ කර තිබුණත් කිරුළපන මැයි රැලිය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එරෙහිව නොවන බව ඔවුන් වටහා ගත යුතුව ඇතැයිද රණතුංග මහතා කියා සිටියේය.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප නායකත්වය දැරුවද ගමේ ජනතාව තවමත් පක්‍ෂ නායකයා ලෙස සලකන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බව හෘද සාක්‍ෂියට අනුව ඕනෑම අයකුට සිතා ගැනීම අපහසු නොවනු ඇතැයි ද හෙතෙම කීය.

ශ්‍රීලනිපය දෙකඩ කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් උත්සාහ කරන බවට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු එජාපය සමග යහන්ගතව විවිධ ප්‍රකාශ කළද ඔවුන්ට ඇත්තටම ශ්‍රීලනිපය එක්‌ කිරීමේ වැඩපිළිවෙළක්‌ නැතැයිද රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය



Share on Google Plus