අගමැතිවරයා ජනමාධ්‍ය ‍ලේකම්ව වහාම කැඳවයි.


“උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත නොකරමු” යන සිරස්තලය යටතේ ඒකාබද්ධ විපක්ෂයේ නම භාවිත නොකරන ලෙස දන්වමින් මාධ්‍ය ආයතන වෙත යැවූ ලිපිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණ තමා හමුවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ‍ලේකම් නිමල් බෝපගේ මහතාට නියෝග කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතුවලට අදාළව මාධ්‍ය ආයතන වෙත නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙසද අගමැතිවරයා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ‍ලේකම්වරයාට දැනුම් දී ඇත. 

අමාත්‍යංශ ‍ලේකම්වරයකුගේ කාර්ය භාරය අභිබවා යමින් පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් අගමැතිවරයා මෙලෙස ජනමාධ්‍ය අමාත්‍යංශයේ ‍ලේකම්වරයාව අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ‍ලේකම්වරයාගේ නිවේදනය සම්බන්ධයෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක්ද අගමැතිවරයාගේ අවධානයට ලක් කර ඇති අතර එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය කියන කණ්ඩායම පාර්ලිමේන්තුව පිළිගෙන නැතත් එම නම කිසිම තහනමකට ලක් කර නැති බවයි.

පාර්ලිමේන්තු කටයුතුවලට අදාළව බාහිර පුද්ගලයන්ට නිවේදන නිකුත් කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවත් මෙම නිවේදනය රජය මෙන්ම ජනාධිපතිවරයාද අපහසුතාවයට පත්වෙන බවත් අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඇමැතිවරුන්ට පෙන්වා දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් තමන් විසින් නිකුත් කළ නිවේදනයක පාදක කරගනිමින් දේශපාලන පක්ෂ හා සංවිධාන එල්ල කරන චෝදනාවලට පිළිතුරුදීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා පැවසූවේ තමන් විසින්  මාධ්‍යය වෙත ඊයේ නිකුත් කළ නිවේදනය මගින් කිසිදු අවස්ථාවක මාධ්‍ය නිදහස වාරණය කිරීමක් හෝ මාධ්‍යයට තර්ජනයක් සිදු කර නැති බවයි.

ඒ මහතා කියා සිටින්නේ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙනුවෙන් කාරුණික ඉල්ලීමක් සිදු කරමින් එම නිවේදනය නිකුත් කළ බවයි.

මාධ්‍ය සුබ සාධනය වෙනුවෙන් සිදු කරන වැඩපිළිවෙළ තුළ දේශපාලන අධිකාරිය සම්බන්ධ කර ගත යුතු නැති බවත්, මෙම නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, ජනමාධ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් නොවූ බවත්, ලේකම්වරයා පැවසී ය.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යයට නිකුත් කළ නිවේදනය පිළිබඳව ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

Share on Google Plus