සෝභිත හිමි අපවත්වීම ගැන විද්වත් වාර්තාවක් කැඳවයි.


කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම සම්බන්ධව මරණ සහතිකයේ දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් විද්වත් වෛද්‍ය කමිටුවක් මඟින් විමර්ශනයක් පවත්වා කඩිනම් වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ‍ඊයේ (04) කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නියෝග නිකුත් කළේය.

2015/11/08 වන දින අපවත් වූ සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් මරණ සහතිකයේ ඇතුළත් කරුණු හා සෝභිත හිමි මුහුණ පෑ හෘද ශල්‍යකර්මය සම්බන්ධයෙන් ද? එම ප්‍රතිකාර හා ශල්‍යකර්මය හේතුවෙන් උන්වහන්සේගේ මරණය සිදුවිය හැකි ද? යන්න සම්බන්ධයෙන් ද විද්වත් වෛද්‍ය මතය ඉදිරි විමර්ශන සඳහා අවශ්‍යව ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

එමෙන්ම සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල මඟින් ලබාගන්නා ලද වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන්ද? මරණය සම්බන්ධයෙන් එම රෝහල මඟින් නිකුත් කරන ලද මරණ සහතිකයේ ඇතුළත් කරුණු හා පෙර උන්වහන්සේ ප්‍රතිකාර ලබාගත් රෝගයන් හා සැසඳේද? යන්න හෙළිකර ගැනීම මෙම විමර්ශනවල අත්‍යවශ්‍ය කරුණු බවට සඳහන් කරන රහස් පොලිසිය කොළඹ ජාතික රෝහල් අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා වෙත ඉහත නියෝග නිකුත් කරන ලෙස 1979 අංක 15 අපරාධ නඩු සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව ඉල්ලීම් කර තිබිණි.

සෝභිත හිමියන් ප්‍රතිකාර ලැබූ කොළඹ ජාතික රෝහල, සෙන්ට්‍රල් රෝහල හා නෙවිල් ප්‍රනාන්දු ‍යන රෝහල් මඟින් එම රෝහල්වලට ඇතුළත් කිරීම, ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසට රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ලිඛිතව දන්වා යවා ඇති බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මීට අමතරව උඩුවේ ධම්මාලෝක හිමි ඇතුළු භික්ෂූන්වහන්සේ 2016/03/21 නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම කුමන්ත්‍රණයක් බවට ප්‍රකාශ කර ඇති බවත්, ඊට අදාළ මාධ්‍ය වීඩියෝ දර්ශන පෞද්ගලික නාලිකා හා පුවත්පත් මඟින් පිටපත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ලැබී නොමැති බවට ද රහස් පොලිසිය අධිකරණය ‍හමුවේ පැවැසීය.

මාදුළුවාවේ සෝභිත නාහිමි අපවත්වීම සැකකටයුතු බවට සිරි ඇලන්මැතිනියාරාමය පුරාණ විහාරය, කිරුළපන පදිංචි උඩුවේ ධම්මාලෝක හිමි‍යන් 2016/03/26 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ප්‍රකාශයක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර තිබේ.

කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපතිව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමියන් හෘද ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත රැගෙන ගිය බවත් එලෙස රැගෙනයාමෙන් 2015/11/08 වන දින අලුයම සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේදී අපවත්වීම හා ප්‍රතිකාර සම්බන්ධ වෛද්‍ය වාර්තා අස්ථානගතවීම සහ හිමියන්ගේ මෘත ශරීරය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම යන කරුණු ඔස්සේ මෙම මරණය සැක සහිත බවට ධම්මාලෝක හිමි රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත.

එම කරුණු අනුව සෝභිත හිමිගේ වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධව 2015/11/08 අපවත්වීම හා එසේ වීමට හේතු වශයෙන් දක්වා ඇති කරුණු පිළිබඳව විද්වත් වෛද්‍ය කමිටුවක් මඟින් විමර්ශන පවත්වා විධිමත් වාර්තාවක් අධිකරණයට හා පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නියෝග කළේය.

Share on Google Plus