මහින්ද කිරුළපන එනවද?


කිරුළපනදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන මැයි රැලියට හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම සහභාගි වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

ඔහු එසේ සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (11දා) පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන රැස්වීමකට සහභාගි වීම විනය කඩකිරීමක් නොවන්නේ දැයි මාධ්‍යවේදියකු එහිදී ගුණවර්ධන මන්ත්‍රිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු පැවැසුවේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටලුවක් බවය.
ඔහු මෙසේද කීය.

මේ මැයි රැලිය ඒකාබද්ධ විපක්ෂය, ඒකාබද්ධ වෘත්තීය සමිති මණ්ඩලය ඒකාබද්ධව තමයි සංවිධානය කරන්නේ. ඒකට හිටපු ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. එතුමා සහභාගි වෙනවා කියලා කිව්වොත් එතුමා කිසිම අවස්ථාවක සහභාගි නොවී ඉඳලා නැහැ. එතුමා ඉතා පැහැදිලිවම අපිත් එක්ක අපේ වැඩපිළිවෙළේ ඉන්නවා. එතුමා එදාට ප්‍රධාන කථිකයෙක් විදියට සහභාගි වෙනවා. 

Share on Google Plus