මහ පාන්දර රනිල්ට කෝල් කරලා බෝම්බ ගැන මහින්ද කීවේ මොකක්ද?


චාවකච්චේරි ප්‍රදේශයෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හා පුපුරන ද්‍රව්‍ය හමුවීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමාට දුරකතන ඇමතුමක් ලබාදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කෙළේය.

රුපියල් මිලියන 1,400ක වියදමින් ඉදිකළ මුදල් අමාත්‍යාංශයේ නව සත් මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට ඊයේ (31දා) දිනයේ සහභාගි වෙමින් අගමැතිවරයා මේ අනාවරණය සිදු කෙළේය.

එහිදී වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, හිටපු ජනාධිපති ඊයේ (30දා) පාන්දර මේ සම්බන්ධයෙන් තමාට දුරකතනයෙන් අමතා මෙවැනි ආරංචියක් පවතින බවත්, මේ පිළිබඳ සොයා බලන ලෙස තමන්ට දැනුම් දුන් බවත්ය.

මේ අතර උතුරේ පුපුරන ද්‍රව්‍ය හමුවීම සම්බන්ධව රජය ඉතා දැඩි වගකීමකින් ක්‍රියා කරන බවත් පොලිස් විශේෂ කාර්ය බළකායට පරීක්ෂණ සිදුකිරීම භාරදී ඇති අතර අධිකරණ අවසරය මත රස පරීක්ෂක වාර්තා ලබාගෙන ඒ සම්බන්ධ විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එල්ටීටීඊ සංවිධානය මේ පුපුරන ද්‍රව්‍ය රැස්කළාද නැති නම් රජයේ ගමන කඩාකප්පල් කිරීමේ වුවමනාව ඇති වෙනත් පිරිසක් මේවා රැස් කරනවාද නැතිනම් දෙපිරිසම එකතුව යම් ත්‍රස්තවාදී කටයුත්තකට අර අඳිනවාද යන්න සොයා බලන බවද අගමැතිවරයා පැවැසීය.

අභ්‍යන්තර යුද්ධයේදී යොදාගත් පුපුරන ද්‍රව්‍ය සඟවා ඇත්දැයි සොයනවා වගේම රජයට භාරදුන් රත්රන් විශාල ප්‍රමාණයකට සැබෑ ලෙසම සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමටද රජය ක්‍රියා කරන බව අගමැතිවරයා පැවැසීය.

මුදල් අමාත්‍යාංශයේ නව පරිපාලන ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඊයේ (31දා) පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කෙළේය. මේ සම්බන්ධව හිටපු ඇමැති ජී.ඇල්. පීරිස් මහතා මාධ්‍යට කර තිබූ ප්‍රකාශ තමා දුටු බවත් එම පුපුරන ද්‍රව්‍ය ගෙන ඒමට තිබූ වැල්ලවත්තේ ස්ථාන එතුමා දන්නේ නම් වහාම පොලිසිය දැනුවත් කරන්නේ නම් පරීක්ෂණ කටයුතු පහසු වන බවත් තමන් දැනුවත්ව ඇති එවැනි දේ හෙළි නොකිරීම රටට කරන ද්‍රෝහිකමක් බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Share on Google Plus