දකුණේ පාතාල කොටියා සමග සබඳතා පැවැත්වූ මන්ත්‍රී කවුද?


දකුණේ පාතාල කල්ලි සමඟ සබඳතා පවත්වමින් ඝාතන කිහිපයක් සිදුකළ බව කියන 'එලිලන්' නමැති හිටපු කොටි සාමාජිකයා සමග හිටපු ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමීප සබඳතා පවත්වා ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.

ස්ටැන්ලි කෙනඩි හෙවත් ක්‍රිෂාන් නමැත්තා කොටි සංවිධානය පැවති සමයේදී ප්‍රභාකරන්ගේ ආරක්ෂාව භාරව සිටි චාල්ස් ඇන්තනි බළකායට සම්බන්ධ වී 'එලිලන්' නමින් කටයුතු කර ඇති අයෙකි. 2009 වසරේ දී යුද්ධය නිමවීමෙන් පසු යුද හමුදාවට බාර වී පුනරුත්ථාපනය ලැබ නිදහස් වූ ඔහු ටික කලකින්ම දකුණේ පාතාල කල්ලියක් සමග සම්බන්ධ වී තිබේ.

මීට වසර තුනකට පමණ ඉහත දී මෙම පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු නීති විරෝධී ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග බලපිටිය ප්‍රදේශයේ සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි පැවසේ. එහෙත් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරූ පුද්ගලයෙකුගේ දැඩි බලපෑම් සහගත මැදිහත් වීම නිසා ඔවුන්ව නිදහස් කිරීමට අත්අඩංගුවට ගත් පොලිස් කණ්ඩයමට සිදුව ඇතැයිද පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බලපෑම මත මෙම පුද්ගලයාගේ අත්අඩංගුවට පත්වීම හා අත්අඩංගුවෙන් නිදහස් කිරීම පිළිබඳව ඇති සටහන්ද ඉවත් කර ඇති බවද පැවසෙන අතර මෙම පුද්ගලයා පිස්තෝලයක් හා උණ්ඩ කිහිපයක් සමග ගාල්ලේ සිටියදී යළි අත්අඩංගුවට පත්වීමත් සමගම අදාළ මන්ත්‍රීවරයාගේ බලපෑම පිළිබඳවද පොලීසියට තොරතුරු වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් අදාළ හිටපු කොටි සාමාජිකයා පාතාල කල්ලි සමග සම්බන්ධ වී ඝාතන කීපයක් සිදුකර ඇති බවට තොරතුරු හෙළිදරව් වීමත් සමගම අදාළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග මෙම පුද්ගලයා පැවැත්වූ සබඳතා පිළිබඳවද දීර්ඝව කරුණු හෙළිකර ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවද වාර්තාවේ.  

Share on Google Plus