‘ලවර් ස්ලීප්’ ජල සම්පත විනාශ කරන බලපුළුවන්කාරයන් කවුද?


ලංකාවේ තිබෙන පිරිසිදුම හා වටිනාම පානීය ජලය අැති ස්ථානය ලෙසට පර්යේෂකයන් හඳුනාගත් පිදුරුතලාගල කඳුවැටියෙන් ගලා හැලෙන ‘ලවර්ස් ස්ලීප්’ දිය ඇල්ලේ වතුර, නුවරඑළියේ වෙසෙන බල පුළුවන්කාරයන්ගේ වගා බිම්වලට හරවා ගන්නට ඉඩදී තිබේ. එම ජලය පානය කළ නගරවාසීන්ට නළ ළිං වතුර පානීය ජලය ලෙස බෙදා දීමේ ක්‍රමය මේ වනවිට වසර කීපයක සිට සිදුවෙමින් පවතී. මේ අකටයුත්තට නගරවාසීන්ගේ විරෝධතාවයක් හෝ දේශපාලන අධිකාරියේ අවධානයක් හෝ යොමු නොවීම පුදුම සහගත කරුණක් බව ජනතාව පවසති.

පිදුරුතලාගල කඳුවැටිය පුරාවට වැවී තිබෙන ලක්ෂ සංඛ්‍යාත වූ පැළෑටි වර්ග හා සොබාවික ගස් වර්ග වලින් වැඩි ප්‍රමාණයක්, නොයෙකුත් ඖෂධීය ගුණයෙන් යුක්ත ඒවා බව අදටත් තහවුරුවන සත්‍යයකි. එම බෙහෙත් පැළෑටිවල මුල් අස්සෙන් පෙරී එන දියපහරවලින් මේ දිය ඇල්ල අවට ජල පෝෂකය පෝෂණය වෙයි. ඒ තුළින් ගලා එන වතුර වලට එම බෙහෙත් පැළෑටි හා ගස්වල මල්, කොළ සහ ගෙඩි වැටෙයි. මේ නිසා ඒවායේ ඇති ඖෂධීය ගුණය එකතුවීමත් සමඟ මේ ජලය ඉතා වටිනා සම්පතක් බවට පත්වේ.

පානීය ජල විශේෂඥ මයිකල් ජැක්සන් මහතා (ගායක නොවේ) ලංකාවට පැමිණ ‘ලවර් ස්ලීප්’ දිය ඇල්ලේ වතුර පරීක්ෂාවට ලක්කොට විමතියට පත්වූ බවට සාක්ෂි ඇති අතර එය නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතාද තහවුරු කරයි. කිසිදු රසායනික විපර්යාසයකට ලක්කිරීමකින් තොරව මිනිස් සිරුරට ඉතාමත් හිතකරවූ P.H අගය එහි තිබී ඇත.

නමුත් වසර 10කට ආසන්න කාලයක සිට ක්‍රමයෙන් ඇසට පෙනෙන නොපෙනෙන ගණනට ඇල්ල සිඳීයමින් පවතී. එයට හේතුව දිය ඇල්ලෙන් ජලය පහළට කඩා හැළීමටත් පෙර කන්ද මුදුනේදීම බැමි බැඳ ජලපහර හරස්කොට නළ මගින් ජලය වෙනත් දිසාවකට රැගෙන යාමට කිසියම් පිරිසක් කටයුතුකොට තිබීමයි. කඳුවැටිය මුදුනේ අක්කර දෙකහමාරක පමණවූ සානුවක භූමිභාගය තුළ තැන් කීපයක කුඩා ජල ටැංකි සිමෙන්තියෙන් බැඳ ඒවායේ පිරෙන ජලයද අඟල් 6, - 8 -10 ප්‍රමාණයේ විශ්කම්භයන්ගෙන් යුත් ජලනළ මඟින් කිලෝමීටර් 10ක් 12ක් පමණ දුරින් වූ කඳපොල හා ජයලංකා යන ප්‍රදේශවල පුද්ගලික වගාබිම් වෙත හරවා රැගෙන ගොස් ඇත.

රක්ෂිත වනාන්තරයකට ඇතුළු වී එහි වූ සොබාවික ජලපහරක් පරිසරයට හානිදායක ලෙසින් වෙනත් දිසාවකට හරවා රැගෙන ගොස් ඇති ආකාරය අදත් ‘ලවර් ස්ලීප්’ දිය ඇල්ල මුදුනේ සානුවට ඇතුළු වී ගමන්කරනා ඕනෑම අයකුට දැකගත හැකි දෙයකි.

මුලදීම එක ජලනළයකට දෙකකට සීමා වී තිබූ හරවාගැනීම පසුකාලීනව දහය ඉක්මවා වැඩිවී ඇත. ටැංකි බැඳීම හා ජලනළ එළීමේ කටයුතු නිසා ජලපෝෂකය ආරක්ෂා කරමින් එහි වැවී තිබුණ ‘නෙලූ’ පඳුරුද කපා විනාශකොට ඇති නිසා එහි දිය උල්පත් සිඳී යාමේ තත්ත්වයක්ද පවතී.

මේ නිසා දිය ඇල්ල නිර්මාණය වී පහළට කඩා හැළීමට පෙර වතුර එක් රැස්වන තැනට ජලය එකතු වන්නේ අල්ප වශයෙනි. ඒ හේතුවෙන් වැසි දිනවලට පමණක් හැඩවැඩ වී කඩා හැළෙන ලවර් ස්ලීප් දිය ඇල්ල වැසි නතරවී දින කීපයක් යනවිට යළි සුපුරුදු පණ අදින තත්ත්වයට පත්වෙයි.

අද එම දිය ඇල්ල ඇති නැති ගානය. රක්ෂිත වනාන්තරයක ජලපෝෂකවලට ඇතුළු වී ජලනළ එළීමට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ නිසි පියවරක් එදා ගෙන තිබුණේ නම් අද දිය ඇල්ල මේ අන්දමින් විනාශය කරා නොයන බව බො‍හෝ දෙනාගේ අදහසයි.

රටටම වතුර ‍ බෙදාදෙන ජල උල්පත් පිරුණු නුවරඑළියේ නාගරික ජනතාවට නළ මඟින් සපයන වතුර දිනපතාම කැපෙන්නට ගත්විට ඔවුහු කලබලයට පත්වී ඇත. සිදුව ඇති දෙය දැන ගත් කෝපවූ තරුණ පිරිස් පිදුරුතලාගල කඳුවැටියට නැග දිය ඇල්ල මුදුනේ සවිකොට තිබූ ජලනළ කඩා විසිකර දැම්මේ ඉන් පසුවය.

මෙයින් තැති ගත් නුවරඑළිය මහ නගර සභාවේ එවකට සිටි බලධාරීන් ග්‍රෙගරි වැවේ ජලය පිරිසිදු කොට පානීය ජලය ලෙස බෙදා දීමට සැලසුම් කළහ. එහෙත් විෂබීජ ඉවත්කළද වැව් ජලයට මුසුවී ඇති කෘෂිරසායන ද්‍රව්‍ය ඉවත්කළ නොහැකි බව හෙළිවීමෙන් පසු එම සැලසුමද හකුලාගෙන ඇතත් ඊළඟට කර ඇත්තේ අමුතුම ක්‍රියාවකි.

ජල උල්පත් බහුල නුවරඑළියට ජාත්‍යන්තර සංවිධානයක් නළ ළිං ගහන්න පියවර ගෙන ඇත.

ඔවුන්ට අවශ්‍ය සහය නුවරඑළිය මහ නගර සභාවේ එවකට සිටි පාලකයින් විසින් ලබාදීමෙන් පසු නගරසීමාවේ ප්‍රධාන ජල උල්පත් සහිත තැන් කීපයක නළළිං ඉදිකර එය නගරවාසීන්ට ලබා දී ඇත.

රටේ හොඳම පානීය ජලය ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානවලින් හඳුන්වා දී තිබූ ඖෂධ ගුණයෙන් පිරි සොබාවික ජලය වගා බිම්වල භෝගවලට සපයන්න යොදාගනිද්දී නුවරඑළිය නාගරික ජනතාව පොළව යටින් ගත් මන්ඩි බැඳෙන නළ ළිං වතුර පානය කරන්න පුරුදුවුණා.

මේ නිසා නොබෝ දිනකින් පොළොන්නරුවට අන්ත ලෙසින් වකුගඩු රෝගීන් නුවරඑළියෙන් වාර්තා විය හැකියැයි යන බියක්ද මේ වන විට නුවරඑළිය නගරවාසීන් තුළ ඇතිවී තිබේ.

-Dinamina


Share on Google Plus