චම්පිකගෙ ජීප් එක එළියට ගන්න උත්සාහයක්.


රිය අනතුරක් සිදු කර පුද්ගලයන් දෙදෙනකුට තුවාල සිදු කරන ලදැයි කියන සිද්ධියට සම්බන්ධ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාවිච්චි කළ ජීප් රථය පොලිස් භාරයෙන් මුදාහරින ලෙසට ඉල්ලීමක් කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මේ අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියැදුරු ලෙස ඉදිරිපත් වූ දිලුම් තුසිත කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෙක්සි ජී. පියදාස මහතා එම ඉල්ලීම මෝසමක් මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

එම ඉල්ලීම ලබන 27 වැනි දින සලකා බැලීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය තීරණය කළාය.

ඉකුත් පෙබරවාරි 28 වැනි දින රිය අනතුරක් සිදු කර සන්දීප් සම්පත් සහ මනුල මින්සුක අබේසුන්දර යන දෙදෙනාට තුවාල සිදු කරන ලදැයි කියන සිද්ධියට අදාළව වැලිකඩ පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට පරීක්ෂණ පවත්වනු ලැබේ.

එම පරීක්ෂණයට අදාළව ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අංක 652171915ම දරන ජාතික හැඳුනුම්පත ඔස්සේ ලබාගෙන තිබෙන සියලුම දුරකතන පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙස අධිකරණය පොලිසිය වෙත නියෝගයක්ද කර තිබේ.

මේ නඩුව ලබන 27 වැනිදා කැඳවීමට නියමිතය.

Share on Google Plus