ITN ධනුෂ්කගේ පිස්සුව තදවෙයි.


මෙහි කතා නායකයා ධනුෂ්ක රාමනායක මහතාය. නැතිනම් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂතුමාය. ධනුෂ්ක මහත්තයා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයට පත් වන්නේ 2015 ජනවාරි මාසයේය.

නැතිනම් යහපාලනයේ පළමු පියවරේදීය. එදා සිට අද වන විට වසරකුත් මාස කිහිපයක් ගතව ඇත. නමුත් බක්මාසයේ නව අවුරුදු නැවුම් සුවඳ මැදින් අපට කියන්න වෙන්නෙ ස්වාධීන රූපවාහිනියේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ මහතාගේ දුගඳ හමන හැසිරීමය. නැතිනම් ධනුෂ්ක මහත්තයාගේ වැඩ නිසා යහපාලනය ද ගඳ ගසන්නට ඉඩ ඇති බැවින් හිතවත්කම් පසෙකින් තබා කතාව කියන්නට අපට සිදුව ඇත.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරය දැරීමට ධනුෂ්ක මහත්තයාට ඇති සුදුසුකම අප ප‍්‍රශ්න කරන්නේ නැත. මන්ද පැහැදිලි දේශපාලන පත්වීම්වල පතිවත හෝ ඊට අදාළ චරිත සහතික සෙවීම අපට අනුව නිරර්ථක ක‍්‍රියාවක් වන නිසාය. මෙහිදී අප ප‍්‍රශ්න කරන්න සුදානම් වන්නෙ රාජකාරි මට්ටමේ දී ධනුෂ්ක මහත්තයාගේ හැසිරීම හමුවේ ආයතනයට සිදුවී ඇති දශාව පිළිබඳව ය.

ධනුෂ්ක මහත්තයා ලක්හඬ ගුවන් විදුලියට අදාළව පළමු අඩව්ව අල්ලන්නේ ලක්හඬ නග්ගන්න කරන සමීක්ෂණය හරහා ය. අපට වාර්තා වී ඇති ආකාරයට ධනුෂ්ක මහත්තයා ඒ වෙනුවෙන් ලක්ෂ 5ත් 8ත් අතර මුදලක් වැය කර ඇත. අප කළ විමසීමේ දී ධනුෂ්ක මහත්තයා කිව්වේ අදාළ සමීක්ෂණය සඳහා වැය නොවූ බවය. කෙසේ වුවත් සමීක්ෂණය අවසන් වූයේ එතෙක් ලක්හඬ ගුවන් විදුලියේ ශ‍්‍රාවක ප‍්‍රසාදය මැනවින් දිනා සිටි පේ‍්‍රමතටාකය සහ ජෝති රාත‍්‍රිය යන වැඩසටහන් නවතා. එම වැඩසටහන් අද වෙනස් ආකෘතියකින් වෙනත් නාලිකාවක විකාශනය වන බව ධනුෂ්ක මහත්තයා නොදන්නවා ඇත. එපමණක් නොව ආයතනයේ ගුණාත්මකභාවය නංවන්නට යැයි කියමින් එහි සේවක සේවිකාවන් සහභාගි කරවාගෙන මාදුරුඔය විශේෂ කාර්යය බලාකා කඳවුරේ පැවැත් වූ වැඩමුළු සඳහා ද සංවිධාන කටයුතු සිදුකර ඇත්තේ ධනුෂ්ක මහතාමය. ඊට රුපියල් මිලියන 10කට ආසන්න මුදල් ප‍්‍රමාණයක් වැය කර ඇත. නිවේදක නිවේදිකාවන්ට කටහඬ පුහුණුවක් යැයි කියා ඒ වෙනුවෙන් වූ කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයකුට රුපියල් 50000ක් ගෙවීමට මැදිහත් වී ඇත්තේ ද ධනුෂ්ක මහත්තයාමය. එසේම විනාඩියකටත් අඩු තේමා වාදනයක් වෙනුවෙන් ධනුෂ්ක මහත්තයාගේ මැදිහත් වීමෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 4ක්ය. එම තේමා වාදනයම නැවත නිර්මාණය කිරීමට ඔහු රුපියල් 254000ක මුදලක් ද වැය කර ඇත.

මෙය ලක්හඬ ඉතිහාසයේ පමණක් නොව ලංකා ඉතිහාසයේම මිනිත්තුවකට අඩු තේමා වාදනයක් වෙනුවෙන් වැයකළ වැඩිම මුදල වන්නට ඉඩ ඇත. එසේම ලක්හඬ ගුවන් විදුලියේ ඉතා කුඩා වපසරියක තීන්ත ආලේප කිරීම සඳහා ධනුෂ්ක මහත්තයාගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 1.3කට ආසන්න මුදලක් වැය කර ඇති බව ද වාර්තා වෙයි. ඒ ද ලක්හඬ ඉතිහාසයේ තවත් වාර්තාවක්ය. මීට අමතරව S-5 සංකල්පය පිළිබඳ ආයතනයේ සේවක සේවිකාවන් දැනුවත් කරන්නට යැයි කියා එක්තරා හෝටයකට ඔවුන්ව ගෙන ගොස් මුළු දවසක්ම ගෙවා දම්මවා නැටූ නාඩගමට වැයකර ඇති මුදල රුපියල් මිලියන 4කට අධිකය. එසේම ප‍්‍රවෘත්ති ජිංගල් නිර්මාණය වෙනුවෙන් ධනුෂ්ක මහත්තයාගේ මැදිහත්වීමෙන් රුපියල් 260000ක් සහ ආයතනය රීලෝන්ච් කරන්න යැයි කියමින් රුපියල් මිලියන 3කට ආසන්න මුදලක් අපතේ යැව්වේ ද ධනුෂ්ක මහත්තයාගේම මැදිහත් වීමෙන්ය. මේ සියලූ නාඩගම් අවසානයේ ලක්හඬ ගුවන් විදුලිය ධනුෂ්ක මහත්තයා වැඩ බාරගත් සමයේ තිබූ තැනවත් අද තිබුණා නම් හිත හදා ගන්නට තිබිණ. කෙසේ නමුත් සමීක්ෂණ දත්ත මත එදා 9වන ස්ථානයේ රැඳී තිබූ ලක්හඬ අද 14 වන ස්ථානයේය.

මේ සියලූ නාඩගම් නැටීම අවසානයේ අවම වශයෙන් ලක්හඬ ගුවන් විදුලියේ ආදායම් පාර්ශ්වයවත් සරු වී තිබුණා නම් පොඩි එකාගේ ආසාවනේ කියා අපට ද නිහඬව ඉන්නට තිබිණ. නමුත් එසේ නිහඬ වන්නට නොහැකි වන්නේ ආයතනයේ ඉහළ ධුරයක් දරන අතර තුරම ආයතනයේ ආදායම් මාර්ග සමඟ සූදු කෙළින්නට ධනුෂ්ක මහත්තයා ක‍්‍රියාකර ඇති නිසාය. ඒ සූදුව වෙනුවෙන් ධනුෂ්ක මහත්තයාගේ හිතුවක්කාරකම කොපමණ දැයි කියනවා නම් ආයතනයට ලක්ෂ 15ක් පමණ මුදලක් ලබා දී සිදු කරන ජාතික ලොතැරැයි මණ්ඩලයේ දිනුම් ඇදීම විකාශය වීම නවතා දමන්නට තරම් එය දුරදිග ගොස් ඇත. ඒ වෙනුවෙන් ධනුෂ්ක මහත්තයා ජාතික ලොතරැයි මණ්ඩලයට ‘‘මිනිට්’’ ගසා දැනුම් දී ඇත්තේ ‘‘නව කළමනාකරු පැමිණි පසු මෙය ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කරමි’’ යනුවෙන් දැනුම් දෙමින්ය. ඒ පිළිබඳ ධනුෂ්ක මහත්තයාගෙන් විමසූ විට ඔහු අවධාරණය කරන්නේ රූපවාහිනී වැඩසටහනක් පටිගතකර රාත‍්‍රී 9.00ත් - 10.00ත් අතර ගුවන් කාලය විකාශය කිරීම ශ‍්‍රාවක රුචියට හිතකර නොවන බවය. එහෙයින් එය වැඩ සටහනක් ලෙස විකාශය කිරීම තම අපේක්ෂාව වූ බවය.

අවසානයේ සිද්ධ වූයේ ලොතරැයි මණ්ඩලයේ දිනුම් ඇදීම විකාශය කිරීමේ අවස්ථාව ලක්හඬට අහිමි වී යාමය. එපමණක් නොව ධනුෂ්ක මහත්තයාගේ මේ මාර මොළය නිසා ලක්හඬ ගුවන් විදුලියට වෙළඳ දැන්වීම් ලබා දුන් සහ ඒ හා එක්ව ප‍්‍රවර්ධන කටයුතු සිදුකළ SLT ඩයලොග්, සෙලාන්, මෙල්වා, මල්ටිලැක්, ඩාලිබට්ලර් ආදී ප‍්‍රධාන පෙළේ ආයතන මේ වන විට ලක්හඬ සමඟ ඇති ගනුදෙනු අත්හිටුවා ඇත. මේ අයුරින් ආයතනයට ආදායම් ලැබෙන මාර්ග අහුරාලන ඒ වෙනුවෙන් මිනිටි ගැසීමට තරම් මොළය ඔද්දල් කරගත් ආයතන ප‍්‍රධානියකු ලෙස ද ධනුෂ්ක මහත්තයාගේ නම ලක්හඬ පමණක් නොව ලෝක ඉතිහාසයට ද එක්වනවා නොඅනුමනය.

මෙතරම් නැටුම් නටලත් තවමත් ධනුෂ්ක මහත්තයාගේ චින්තනයට අනුව ඔහු නිවැරදිය. එතුමා පවසන ආකාරයට වරද ඇත්තේ ආයතන ප‍්‍රධානීන් ඇතුළුව අනෙක් සේවක සේවිකාවන් අතේය. එහෙයින් ධනුෂ්ක මහත්තයාගේ එම චින්තනයට මෙසේ අවධාරණය කරමින් මෙම ලිපිය අවසන් කරන්නෙමු.

ධනුෂ්ක මහත්තයෝ ආයතනයක් යනු සමූහ මිනිස් ක‍්‍රියාකාරකමක් මිස කාගේවත් ඔළුගෙඩිවල මැවෙන මනෝ විකාර ගොන්නක් නොවේය. ආයතන සාර්ථක වන්නේ ද අසාර්ථක වන්නේ ද සමූහයක් ලෙස ඒ වෙනුවෙන් දක්වන දායකත්වයේ ප‍්‍රමාණය හා ගුණය මතය. ඒ බව නොදැන ක‍්‍රියාකර පොටවරද්දා ගත් අවාසනාවන්ත ඉරමණට කදිම නිදර්ශනය නම් මහින්ද රාජපක්ෂය. ඔබතුමා රාජපක්ෂගේ දේශපාලන නික්ම යාමෙන් අනතුරුව තනතුර හිමි කරගත්තත් ඒ පන්නයට ගියොත් සිදු වන අනතුර ඉගෙන නැති ගානය. එහෙයින් වඩාත් වැදගත් වන්නේ සමූහයක් ලෙස ක‍්‍රියාකර ආයතනය නංවන්නට මැදිහත් වීමය. අප ඔබතුමා සිදු කරගත් ආයතනික නිල රථ අනතුරු ගැන මෙන්ම ඉන්ධන වියදම් සහ බඳවා ගැනීම් නොලියන්නේ ඔබතුමාට හැදෙන්නට කල් දෙන්නටය. අපට ඇත්තේ පෞද්ගලික ආරෝවක් නම් තවත් බොහෝ දේ ලියන්නට තිබිණ. අවසාන වශයෙන් ධනුෂ්ක මහතාට අප අවධාරණය කරන්නේ, මහත්තයෝ හැදෙනවා නම් අර තොරණ උඩට නැගපු කටුස්සාගේ කතාවමත් ඔබට ප‍්‍රමාණවත් කියාය.

ඔය චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා
-ධනුෂ්ක රාමනායක
ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ - ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය

ඔය චෝදනා සියල්ල මම ප‍්‍රතික්ෂේප කරනවා. මම සේවයට එක් වූ දා සිට යමක් කළා නම් ඒ සියල්ල කළේ ආයතනයේ යහපත වෙනුවෙන්. ඒ දේවල් දරාගන්න බැරි අය තමයි ඔය චෝදනා එල්ල කරන්නේ. මෙතන සමහරු වැඩ කළේ ආණ්ඩුව ගත්ත කැබිනට් තීරණවලටත් පිටු පාලා. චක‍්‍රලේඛ නිකුත් කරලා තියෙද්දිත් ඒවා සලකන්නේ නැතිව තමයි කටයුතු කළේ. මම එන කොටත් ලක්හඬ ගුවන් විදුලිය තිබුණේ 14 වැනි ස්ථානයේ. මම අධ්‍යක්ෂ මණ්ඩලයත් සමඟ කතා කරලා ආයතනයේ සියලූ දෙනාට සාමූහිකව ක‍්‍රියා කරන්න, ආයතනය තිබෙන තත්ත්වයෙන් ඉහළට ඔසවා තබන්න ඇතුළුව නිවේදක නිවේදිකාවන්ගේ සහ නිෂ්පාදකවරුන්ගේ සමාජයීය සහ පොදුවේ දැනුම ඔප්නංවන්න වැඩසටහන් ක‍්‍රියාත්මක කළා. ඒවා හිතුමතේ ගත්ත තීරණ නෙවෙයි. හැම දෙයක් ම අදාළ පාර්ශ්ව සමඟ පාරදෘෂ්‍යභාවයෙන් යුතුව සිදු කරපු ඒවා.

ඒ වගේම මම ආයතනයට ලැබෙන වෙළෙඳ දැන්වීම් වැළැක්වූවා යැයි කියන්න බෑ. 2010 වසරෙන් පස්සෙ ඒකපාර්ශ්වීය විදිහට කටයුතු කරලා ශ‍්‍රාවක ආකර්ෂණය අහිමි කරගෙන තිබුණේ. මම හැදුවේ විධිමත් වැඩපිළිවෙළක් තුළ ලක්හඬ ඉදිරියට ගෙන එන්න. ඒ වගේම ඔය එල්ල කරලා තියෙන හැම චෝදනාවකටම අදාළ නිශ්චිත පිළිතුරු මට තිබෙනවා. මම මූල්‍ය වංචා කරලා තිබෙනවා නම් ඒ ගැන අපේ ගිනුම් අංශයෙන් දැන ගන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා මේක මුළුමනින්ම දේශපාලනීකරණය වෙච්ච ආයතනයක්. ඒ තත්ත්වයෙන් ආයතනය මුදව ගෙන වඩාත් ශ‍්‍රාවක ආකර්ෂණයක් ඇති, ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න කටයුතු කරපු නිසයි ඔය හැම චෝදනාවක්ම එල්ල කරන්නෙ.

- සංජය ලියනගේ
SathHanda

Share on Google Plus