IMF ආධාර සති තුනකින් - ශ්‍රී ලංකාවට දෙන සහන ජුලි මසට පෙර කියයි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි. එෆ්. එම්.) මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර ඉදිරි සති දෙක ඇතුළත ලබාගත හැකි වනු ඇතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසීය.

එම ආධාර ලබාදෙන්නේ ශ්‍රී ලංකාවට හිතකර, සැලසුම්සහගත ක්‍රියාවලියක්‌ තුළින් බව ද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යහපත් ප්‍රතිචාර දක්‌වා ඇති බව පෙන්වා දෙන මුදල් ඇමැතිවරයා පසුගියදා ජපානයේ පැවති බදුකරණය සමුළුව අතරතුර ශ්‍රී ලංකාවට ආදායම් උපයාගත හැකි මාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පුළුල්ව සාකච්ඡා කළ බව ද සඳහන් කළේය. 

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන සහන පිළිබඳව මෙම ජුලි මාසයට පෙර ප්‍රකාශයට පත් කරන බව එම අරමුදල රජයට දැනුම් දී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ නිල සංචාරය නිමවා මෙරටට පැමිණ පැය කිහිපයකට පසුව පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී එම අරමුදල මේ බව අගමැතිවරයාට ප්‍රකාශ කර ඇත.


අරලියගහ මන්දිරයේදී පෙරේදා (10 දා) පෙරවරුවේ එම අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡා කොට තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ඉදිරි සහයෝගය පිළිබඳව ලබන ජුලි මසට පෙර තීරණය කොට රජයට දැන්වීමට ද මෙම සාකච්ඡාවේදී එම නිලධාරීන් අගමැතිවරයා වෙත දන්වා ඇත. ඉදිරි වසර (2017) තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධව ක්‍රියා කරන ආකාරය පිළිබඳව ද රජයේ ස්‌ථාවරය ලබන ජුලි මසදී ප්‍රකාශ කිරීමද මෙහිදී ප්‍රකාශ වී තිබේ. මෙම විශේෂ සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ද දැනුවත් කළ බව රජයේ ප්‍රකාශකයකු පැවසීය.

Share on Google Plus