එජාපය හා ශ්‍රීලනිපය ෆෙඩරල් යෝජනාව ප්‍රතික්‍ෂේප කරයි.


උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ෆෙඩරල් විසඳුමක්‌ ලබා දිය යුතු බවට ඉල්ලමින් උතුරු පළාත් සභාව සම්මත කළ යෝජනාව එක්‌සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් යන ප්‍රධාන පක්‍ෂ දෙක විසින්ම ප්‍රතික්‍ෂේප කර ඇත.  

උතුරු පළාත් සභාව විසින් සම්මත කර ගෙන ඇති එම යෝජනාවට කිසි ලෙසකින්වත් එකඟ විය නොහැකි බව එම පක්‍ෂ පවසයි.

මේ සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම්, ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා කියා සිටියේ සියලු ජාතීන් අතර සමගිය ඇති කිරීම සඳහා රජය පියවර ගෙන ඇති මෙවැනි අවස්‌ථාවක ඒ ආකාරයේ යෝජනා ගෙන ඒමෙන් අනවශ්‍ය අර්බුදයක්‌ නිර්මාණය විය හැකි බවයි.

ප්‍රධාන පක්‍ෂ දෙක එක්‌ව රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන මෙවැනි අවස්‌ථාවක්‌ කිසි දිනක උදා නොවන බැවින් අද ඇතැම් අය උත්සාහ ගන්නේ මේ එකමුතුකම කඩා දමා පටු දේශපාලන වාසි ඉටු කර ගැනීමට බවත් හෙතෙම කීය.

උතුරු පළාත් සභාව සම්මත කරගෙන තිබෙන මෙම යෝජනාවේ අරමුණ එය විය හැකි බවත් මේ අවස්‌ථාවේ රජය ඉතා විමසිල්ලෙන් කටයුතු කර රටේ ඒකීය භාවය ආරක්‍ෂා කරමින් සියලු ජනතාවන් අතර සමගිය රැක ගැනීමට කැපවන බවත් කබීර් හෂීම් මහතා වැඩිදුරටත් කීය.

උතුරු පළාත් සභාව තුළ කුමන යෝජනාවක්‌ සම්මත කර ගත්ත ද ඊට මධ්‍යම රජයෙන් කිසිදු සහයක්‌ නැති බවත් රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කඩකිරීමට කිසිවකුටත් ඉඩදිය නොහැකි බවත් ඊයේ (25 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

Share on Google Plus