යෝෂිත පාස්පෝට් ගැන FCIDයට බොරු කියලා.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදාවේ වැඩතහනමට ලක්ව සිටින යෝෂිත රාජපක්ෂ සතුව විදේශ ගමන් බලපත්‍ර 05ක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අසත්‍ය ප්‍රකාශ කර ඇති බවත් එම පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (28) අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

යෝෂිත රාජපක්ෂ සතු එම විදේශ ගමන් බලපත්‍ර 05 පොලිස් මූල්‍ය අපාරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙසත් ඔහු ඇතුලු නඩුවේ සැකකරුවන් කොටස් වෙළඳපොළේ සිදුකළ ආයෝජන පිළිබඳව වාර්තාවක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබා දෙන ලෙස එහි සභාපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පොලිස් කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා ඇත.

CSN නාලිකාවට අයත් බව කියන බාහිර විකාශන රථය හා සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අඩු මිලට හා නිසි රේගු ගාස්තු නොගෙවා ගෙන ඒම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ලෙසද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

රාජපක්ෂ පාලන සමයේ රූපවාහිණි සංස්ථාවේ සභාපතිවරයෙකු ව සිටි මෙහාන් සමරනායක මහතා දුන් නියෝගයක් අනුව CSN නාලිකාවේ සන්නිවේදන උපකරණ කොකාවිල් කුළුණේ සවි කර ඇති නමුත් ඊට අදාළ කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් නොමැති බවත් CSN සුරැකීමේ සංවිධානය නමින් ගිනුමකින් ගුවන් විදුලි සංස්ථාවට අයත් කුළුනු භාවිත කිරීමට අදාළව මුදල් ගෙවීමට උත්සාහ කර ඇති බව අනාවරණය වන නමුත් එම ගිණුමට මුදල් ලැබී ඇති ආකරය පහැදිළි නොවන බැවින් මේ ගිනුමට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව පරීක්ෂණ කිරීමට අවසර දෙන ලෙසත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා ඇත.

අවශ්‍ය ඕනෑම විටක පොලිස් මූල්‍ය අපාරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට සැකකරුවන් අද අධිකරණයේදී එකඟ වී ඇති අතර ලබන මැයි 3 වැනිදා සිට දෙසතියක් ඇතුළත කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගොස් කටඋත්තර දෙන ලෙසද කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා යෝෂිත රාජපක්ෂ හා නිශාන්ත රණතුංග ඇතුළු CSN නාලිකාවේ මූල්‍ය නඩුවට සම්බන්ධ පස් දෙනාට අද නියෝග කර තිබේ.

මැයි 5 වැනිදාට නඩුව කල් දැමූ අධිකරණය නොතීසි ලද විට යළි උසාවියේ පෙනී සිටින්නැයි ද සැකකරුවන්ට නියෝග කර ඇත. 

CSN නාලිකාවේ අධ්‍යක්ෂවරුන් වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අෂාන් රවිනාත් ප්‍රනාන්දු හා කවිෂාන් දිසානායක යන අය යෝෂිත රාජපක්ෂ සමග අද අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

Share on Google Plus