දිනේෂ්ගෙන් - විමල්ගෙන් ප්‍රශ්න කෙරේ.


චාවාකච්චේරි ප්‍රදේශයෙන් පසුගිය සතියේදී සොයාගන්නා ලද අධිබලැති පිපුරුම් ද්‍රව්‍යවලට අදාළ ප්‍රශ්නය පිළිබඳ දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ යන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කෙරෙනු ඇත.

මෙම පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම පිළිබඳ හිටපු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ රහස් පොලිසිය පසුගිය ඉරිදා ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත. මෙලෙස චාවාකච්චේරියේදී සොයාගන්නා ලද පුපුරන ද්‍රව්‍ය වැල්ලවත්තට ගෙන ඒමට තිබුණ ඒවා බව ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගිය සතියේදී ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය නිසා මෙම පුපුරන ද්‍රව්‍ය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිය.

මේ කරුණු පිළිබඳ තමාට උපදෙස් දෙන ලද්දේ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යැයි රහස් පොලිසියට කරන ලද ප්‍රකාශයේදී මහාචාර්යවරයා පවසා ඇත. පසුගිය සතියේදී කොළඹදී පැවැත්වුන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂ සාමාජිකයන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇමතීමට නියමිතව සිටියේ ගුණවර්ධන මහතා බවත්, එහෙත් අවසාන මොහොතේදී එම කාර්යය තමාට පැවරුන බවත් පීරිස් මහතා කියා ඇත.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ගුණවර්ධන මහතා විසින් තමාට දැන්වූ අතර ඒ පිළිබඳ තමා සතුව පෞද්ගලිකව ප්‍රත්‍යක්ෂ තොරතුරු නැති බව ඒ මහතා පවසා ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව එබඳුම කතාවක් විරුද්ධ පාක්ෂික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද තමා සමඟ පැවසූ බවද හිටපු ඇමති පීරිස් මහතා තම ප්‍රකාශය තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

පීරීස් මහතාගේ ප්‍රකාශයේ නිවරද්‍යතාව පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගුණවර්ධන හා වීරවංශ යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන්ද ප්‍රශ්න කරන බව රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් පවසා සිටියේය.

මේ අතර පොලිසිය ප්‍රශ්න කිරීමෙන් පසුව පසුගිය ඉරිදා ජනමාධ්‍යවේදීන්ට ප්‍රකාශයක් කළ පීරිස් මහතා මෙම කරුණු පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතය අවදානම් තත්ත්වයකට පත්වෙලා ඇතැයි යන උතුරු පළාතේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කළ ප්‍රකාශය මම උපුටා දක්වමි. එයින් පෙනෙන්නේ මෙම මරාගෙන මැරෙන ඇඳුම යොදා ගන්නට උත්සාහ දරන්නට ඇත්තේ එවැනි දෙයකට විය හැකි යැයි ඔහු කීවේය. මෙම ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සරල ලෙස ප්‍රතික්ෂේප නොකළ යුතු බවද පවසමි.

-Dinamina

Share on Google Plus