වයඹ ප්‍රබල ඇමතිවරයෙකුට තනතුර අහිමි වෙයි.


වයඹ පළාත නියෝජනය කරන ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට හෝ වර්තමානයේ දරන අමාත්‍ය ධුරය වෙනස් කිරීමට  ආණ්ඩුවේ ඉහළ පාර්ශ්ව තීරණය කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග මගින් අනාවරණය වේ.

එම ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ, අදාළ අමාත්‍යවරයා තවත් ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු සමග දිගින් දිගටම ඇති කරගත් ආරවුල් සහගත තත්ත්වයන් මෙම තීරණයට හේතු වී ඇති බවයි.එමෙන්ම මෙම අමාත්‍යවරයා යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති නොසලකා හරිමින් ඒවා විවේචනය කිරීමද ඔහු කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කිරීමට  හේතු වී ඇතැයිද, එළඹෙන මැයි මසදී සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී අදාළ තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතුළු අනෙකුත් පක්ෂ සමග ආණ්ඩුව සඳහා ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව අමාත්‍යවරයෙකු එලෙස කැබිනට් අමාත්‍ය ධුරයකින් ඉවත් කිරීම නෛතිකව ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන හෙයින් අදාළ අමාත්‍යවරයා වෙත වෙනත් කැබිනට් අමාත්‍ය ධුරයක් පිරිනැමීමේ තත්ත්වයක්ද ඇතිවිය හැකි බව ඇතැම් පාර්ශ්ව සඳහන් කරයි.


Share on Google Plus