පොලිසියේ ලොක්කන් 4ක් අත්අඩංගුවට?


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් දැනට සේවයේ නියුතු සහකාර පොලිස් අධිකාරිවරයෙකු, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු තවත් උසස් පොලිස් නිලධාරීන් සිව්දෙනකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මේ ඝාතනය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා ‍රහස් පොලිසිය විසින් පසුගිය බදාදා අත්අඩංගුවට ගන්නා ලදී. ඉදිරියේදී අත්අඩංගුවට ගනු ඇතැයි අපේක්ෂා කරන සහකාර පොලිස් අධිකාරිවරයා තාජුඩීන්ගේ ඝාතනය සිදුකිරීමේදී කොළඹ පොලිස් ස්ථානයක ස්ථානාධිපති ලෙස කටයුතු කළ අයෙකු බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග හෙළිකළේය.

මිනීමැරුමක් පිළිබඳ තොරතුරු වසන්කිරීම හා වැරදි තොරතුරු උසාවියට ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ මෙම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට පත්වෙනු ඇතැයි කියැවේ. මෙම සිද්ධිය පිළිබඳ නාරාහේන්පිට පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකළ බව හා එය “හදිසි අනතුරක්” බව පෙන්වීමට ක්‍රියාකර ඇති බවත් දැන් තහවුරු වී ඇත.

“මෙම සිද්ධිය හදිසි අනතුරක් බව පෙන්වීමට උත්සාහ දැරුවද පරීක්ෂණ සඳහා රථවාහන පොලිස් නිලධාරීන් එයට සහභාගි කරගෙන නැතැයි” ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් ඊයේ පැවසීය.

එම පරීක්ෂණයන්ට සම්බන්ධ වූ ඉහත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපදෙස් දීමෙන් පසුව මෙම සිද්ධිය අනතුරක් ලෙස හඳුන්වා දී ඇති බවට සාක්කි ඇතැයි ද ඔහු කීවේය.

මුළු පරීක්ෂණයම පවත්වාගෙන ගොස් ඇත්තේ දෝෂ සහිතව සැක සිතෙන අන්දමටයි. නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති අතර සිදුරු සෑම තැනම දැකිය හැකියි. ඉතා බරපතළ අපරාධයක් වසන් කිරීමට ඔවුන් කටයුතු කර ඇති බව පෙන්විය හැකි ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා යැයි ද එම ප්‍රකාශකයා කීය.

ඝාතනය සිදුවීමෙන් දින කිහිපයකට පසුව තාජුඩීන්ගේ පියා සමඟ රහසිගත ආරක්ෂාකාරී සාකච්ඡාවක් පැවැත්වූ එම පොලිස් නිලධාරියා මෙම සිද්ධිය පිළිබඳ ඉදිරි පියවර නොගන්නා ලෙස එම පවුලට බලකර තිබේ.

“මෙය අනතුරක් නිසා මිනීමැරුමක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ තේරුමක් නැතැයි” එම පොලිස් නිලධාරියා එහිදී කියා තිබෙනවා. “තාජුඩීන් මරා දමන ලද ස්ථානයේ සිට කිලෝමීටර් 1.5 ක් දුරින් ඔහුගේ මුදල් පසුම්බිය හමුවීම නිසා මෙය මිනීමැරුමක් බව සැක කිරීමට ප්‍රමාණවත් සාක්කි තිබුණා” යැයි තාජුඩීන්ගේ පවුලට සමීප ආරංචි මාර්ග හෙළිකළේය.

තාජුඩීන් ඝාතනය කිරීමට මෙහෙයවූ බවට සැක කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ මෙහෙයවන බව රහස් පොලිස් ආරංචි මාර්ගවලින් හෙළිවේ.

Share on Google Plus