තාජුඩීන්ගේ ඝාතකයන් තවම නිදැල්ලේ.



ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළ ඝාතකයන් මාසයක් ඇතුළත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝගය දී මේ (25) දිනට එම මාසයක කාලය ගතවී අවසන් වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ඒ සම්බන්ධව කිසිම සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

ඊට සම්බන්ධ අපරාධකරුවෝ තවමත් නිදැල්ලේ සිටිති. එම අත්අඩංගුවට නොගැනීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගෙන් විමසූ විට හෙතෙම ප්‍රකාශ කෙළේ සිද්ධියට අදාළ පරීක්ෂණ තවමත් සිදු කෙරෙන බැවින් ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. එසේ නම් යම් අපරාධ සිද්ධියකට අදාළ සැක කරුවන් සොයා ගැනීමට නොහැකි අවස්ථාවල අදාළ පරීක්ෂණ ලිපි ගොනුව සැකකරුවකු නොමැති අපරාධයක් ලෙස සලකා තවදුරටත් ඒ සම්බන්ධව පරීක්ෂණ සිදු කිරීමෙන් පලක් නොමැති බවට තීරණය කර C – 3 පරීක්ෂණ ‍ ගොනු අතරට මෙම තාජුඩීන් ඝාතනයට අදාළ පරීක්ෂණ ලිපි ගොනුවද එකතු කිරීමට කටයුතු කරන්නේ දැයි ‘දිනමිණ’ එම නිලධාරියාගෙන් විමසූ විට තවදුරටත් හෙතෙම ප්‍රකාශ කෙළේ ඉදිරියේදී ඒ පිළිබඳ දැනගත හැකි බවයි.

වසීම් තාජුඩීන් ඝාතනයට ලක්ව තිබුණේ 2012 මැයි 17 වැනිදා අලුයම වෙයි. ඔහු ඝාතනය කර ඔහුගේම රථයට දමා ගිනි තබා එම මරණය අනතුරකින් සිදුවූවක් බවට නිගමනය වනපරිදි මළ සිරුර සහිත රථය නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ තාප්පයේ හප්පවා තිබිණි.

සිවු වසරක් තිස්සේ අනතුරකින් සිදුවූ මරණයක් බටව තීරණය කර අධිකරණයට ද වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබූ තාජුඩීන් ඝාතනය යළි 2015 පරීක්ෂණ ආරම්භ විය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලදී තාජුඩීන් 2012 මැයි 16 රාත්‍රියේ පුද්ගලයන් 8 දෙනකු විසින් පැහැරගෙන ගොස් ඇටකටු කඩා ඔහුගේම රථයට දමා ගිනි තබා පුළුස්සා ඇති බව අනාවරණ විය. තාජුඩීන්ගේ සිරුර ගොඩගෙන යළි පරීක්ෂණ සිදුවිය. එහිදී එම ඝාතන සැළසුම ක්‍රියාත්මක කිරීම, අනතුරක් බවට තීරණය කර ‍ එම අපරාධය වසා දැමීමට අදාළව සාක්ෂි රාශියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගෙන තිබුණි.

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයකු වූ තාජුඩීන් හැව්ලොක් රගර් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු විය. එවකට රගර් කණ්ඩායම වෙනත් පුද්ගලයකු විසින් අත්පත් කර ගැනීමට එරෙහිව කටයුතු කළ බව කියන තාජුඩීන් එම රගර් කණ්ඩායම අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියට බාධාවක්ව තිබූ බවද කියයි.

කෙසේ වුවද ඔහු ඝාතනය කර අනතුරක් සිදුවූවක් බවට තීරණය කරන අවස්ථාව වනවිට ක්‍රියාකළ පොලිස් නිලධාරීන්, අදාළ වාර්තා ප්‍රමාද කළ පුද්ගලයන්, වාර්තා යටගැසූ අය, තාජුඩීන් පැහැරගෙන ගිය පිරිස ඝාතනය කළ අය ඇතුළුව මෙම ඝාතනය පිටුපස විශාල පිරිසකගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතී.

ඒ අනුව මෙම මිනී මැරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අපරාධයට සම්බන්ධවූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය මේ වන විටත් ක්‍රියාත්මක වී අවසන්විය යුතුය.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නියෝගය නොසලකා හැර කටයුතු කරන්නේද යන්න තාජුඩීන්ගේ ඥාතියෝ විමසති. 

Share on Google Plus