ආණ්ඩු දෙකක් : ආර්ථික අර්බුදයේ චෝදනාව එජාපයට.


ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට අදාළ කිසිදු කැබිනට් වගකීමක් තම පක්ෂයට නැති බැවින් වර්තමානයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මුදල් හිඟවීමේ සිට ආණ්ඩුව පත්ව තිබෙන ආර්ථික අර්බුදයට අදාළ වගකීමෙන් තමන් නිදහස් විය යුතු බවට ආණ්ඩුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.

එසේම එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට අදාළ ආර්ථික ප‍්‍රතිපත්තිය සහ ඊට අදාළ තීන්දු තීරණ ගැනීමේ දී තම පාර්ශ්වයේ යෝජනා ගැන තැකීමක් නොකරන ස්වභාවයක් ඇති බැවින් එකට ආණ්ඩු කළත් ආර්ථිකය සම්බන්ධ කාරණාවල දී ආණ්ඩුව තුළ වෙනම ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නට ද ඔවුන් එහි දී තීන්දු කර ඇති බව ද වාර්තා වෙයි.

විකල්ප අයවැයක් :

පසුගිය දා පැවති ආණ්ඩුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමති කණ්ඩායමේ හමුවේ දී ඔවුන් මේ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර එහි දී වත්මන් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙළ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ඉදිරිපත් වන ඉදිරි අයවැයට විකල්ප ප‍්‍රතිපත්ති ඇතුළත් ශ‍්‍රීලනිප අයවැයක් ඉදිරිපත් කිරීමට ද එකඟතාව ඇතිකර ගෙන ඇතැයි වාර්තා වේ.

එසේම පසුගිය අයවැය තුළින් පොරොන්දු වූ රාජ්‍ය සේවක මූලික වැටුපට රුපියල් 2500 ක් එකතු කිරීම පමණක් නොව මෙවර සිංහල - හින්දු අලූ‍ත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබා දිය යුතු උත්සව අත්තිකාරම් පවා ගෙවීමට බලවත් දුෂ්කරතාවක් මතුව ඇති බවත් ඊට හේතුව එක්සත් ජාතික පක්ෂයේ වැරැදි ආර්ථික ප‍්‍රතිපත්ති බව ද මේ සාකච්ඡාවේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුවත් කර ඇති අතර ඒ වෙනුවෙන් අදාළ අමාත්‍යාංශ වෙත ජනාධිපතිවරයා මැදිහත්විය යුතු බව ද පෙන්වා දී ඇත.

ඇඟිලි ගහන්න කැමති නැහැ :

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එහි දී ජනාධිපතිවරයා, තමන් මැතිවරණයේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයට ලබා දුන් පොරොන්දුව මත ආණ්ඩු පාලනය අගමැතිවරයාට බාරදී ඇති බැවින්, කිසිදු අමාත්‍යාංශයක් වෙත අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් සිදු නොකරන බවත් මේ මොහොතේ සියලූ‍ දෙනාම රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කර ඇත.

කෙසේ නමුත් මෙහි දී ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් බලවත් කණස්සල්ලෙන් යුතුව කරුණු දක්වා තිබෙන්නේ එකට ආණ්ඩු කරනවා නම් එය ආර්ථිකය වැනි රටේ ජනතාවට තදින් දැනෙන කාරණාවල දී එජාපය ලෙසත්, අනෙක් සියලූ‍ අවස්ථාවල දී ශ‍්‍රීලනිපය ද ඇතුළත් ආණ්ඩුව ලෙසත් භේදයක් තිබෙන්නට නොහැකි බවත් පොදුවේ තම හඬට ද කන් දෙන ස්ථාවරයක් වෙත අගමැතිවරයා පැමිණිය යුතු බවත්ය.

SLM

Share on Google Plus