ණය උගුල.


පසුගිය සමයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති මඟින් රටට අත් වූ ප්‍රතිලාභය ගණනය කරනවිට මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, ආදී ව්‍යාපෘති මගින් ක්ෂණිකව හෝ මධ්‍ය කාලීන වශයෙන්වත් රටට අත්වන සෙතක් පෙනෙනතෙක් මානයක නැත. එහෙත් මේ සඳහා අධික පොළියට ගන්නා ලද ණය අදාළ දිනට ගෙවීමට සිදු වී තිබේ.

ශ්‍රී ලංකාව 1505න් පසු ක්‍රමයෙන් බටහිර ජාතීන්ට යටත් වූ ප්‍රධාන වශයෙන්ම අමුද්‍රව්‍ය අපනයනයෙන් විදේශ විනිමය උපයා ගනිමින් යැපුණු රටකි. එසේම මැද පෙරදිග හා දකුණු අප්‍රිකාව වැනි සංවර්ධිත නොවුණ ද ඛනිජ තෙල් වැනි ස්වාභාවික සම්පත්වලින් තොර රටකි. යටත් විජිත යුගයේ වුව ද බටහිර අධිරාජ්‍යවාදීන් අප වැනි රටවල් උපයෝගී කරගනු ලැබුවේ අමුද්‍රව්‍ය සොයා ගැනීම උදෙසා පාවිච්චි කරගනු ලැබූ රටවල් ලෙසිනි. මේ නිසා නිදහස ලබා මෑතක් වන තුරුම අපේ ආර්ථිකය නඩත්තු වූයේ තේ, රබර්, පොල්, වැනි ප්‍රධාන අපනයනයන් මත ය. මේ රට ලිප්ටන්ගේ තේ වත්ත ලෙසින් හැඳින් වූ යුගයක් ද තිබිණි. දේශීය වැවිලි නොවන කෘෂිකාර්මික අංශය ප්‍රධාන වශයෙන් ම ආහාර බෝග නිෂ්පාදනයට සීමා වී තිබිණි.

1948 වන විට ජාතික ආර්ථිකයෙන් 40%කට කෘෂිකාර්මික අංශය ඍජු ලෙසින්ම දායක විය. එසේම නිදහසින් පසු ඇරඹි දශක 5 තුළ සමස්තයක් වශයෙන් රටේ ආර්ථික වර්ධනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක් 5%ත් අතර පැවතිණ. එමෙන් ම ආදායම් ව්‍යාප්තියේද සලකියයුතු විෂමතාවක් දක්නට ලැබිණි. 1953 සමීක්ෂණයකට අනුව ජනගහනයෙන් 40%ක් රටේ ආදායමින් භුක්ති වින්දේ 14.5%ක ප්‍රතිශතකයකි. රටේ ඉහළ ආදායමක් අත්පත් කරගත් 20%ක් සඳහා - 58.8% සම්පත් පරිභෝජනයකට උරුමකම් කීහ. මේ අනුව සමස්තයක් වශයෙන් ගත් කල එදා රටේ ජනගහනයෙන් 80%කට ලැබුණේ මුළු ආදායමින් 46.2%ක කොටසකි.

මේ විෂමතාවය මඟහරවා ගැනීමට නිදහස ලැබූ මුල් යුගයේ සිට ම පත් වූ ආණ්ඩුවල අවධානය යොමු වී තිබිණි. මේ සඳහා ප්‍රධාන ක්‍රමවේද දෙකක් අනුගමනය කළ බව පෙනේ. ඉන් එක් ක්‍රමයක් වූයේ සුබසාධන හා සහනාධාර ව්‍යාප්ත කිරීම ය. දෙවැන්න වේගවත් ආර්ථික සංවර්ධනයයි. මේ සඳහා යටිතල පහසුකම් වර්ධනය කිරීම මීට අයත් වූ ප්‍රධාන සංවර්ධන උපාය මාර්ගයක් විය.

මේ සඳහා දේශීය හා විදේශීය මූලයන්ගෙන් ණය ගැනීම අප වැනි රටවලට අත්‍යාවශ්‍ය සාධකයක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත. ඊට හේතුව සංවර්ධනය හා සුබසාධනය උදෙසා මුදල් වෙන් කිරීමේ දී නිරතුරුවම අයවැය හිඟයක් දක්නට ලැබීමය. විශේෂයෙන්ම සංවර්ධනය වන්නා වූ මාවතට පිවිසි ස්වාභාවික සම්පත් නොමැති රටක ණය ගැනීමෙන් තොරව ඒ සඳහා කිසිදු ඉඩක් නොමැත.



මේ අතර රජයේ සමස්ත ආදායමට වඩා වියදම වැඩිවීම හා ආයෝජන කටයුතු සඳහා ලැබුණු ඉතා සහනදායී විදේශ ආධාර ලබාගැනීම යන කාරණා හේතුකොට ගෙන නොකඩවා පවතින අය වැය හිඟයක් නිදහස ලැබූ දා සිටම අපේ අයවැය ලේඛනවල දක්නට ලැබිණි. මීට මුහුණදීම සඳහා රජයේ ණය ගැනීමේ මූලාශ්‍රය දේශීය හා විදේශීය වශයෙන් කොටස් දෙකකින් සමන්විත විණි. 1980 දශකයේ දී විදේශ ණයෙහි සාපේක්ෂ කොටස පහළ මට්ටමක සිට මුළු රාජ්‍යයක ණයවලින් අඩක් දක්වා වේගයෙන් ඉහළ නැඟුණු අතර රජයේ විදේශ ණය වැඩිමනත් වශයෙන් සහනදායී කොන්දේසි මත බහු පාර්ශවීය ආයතන හා ආධාර විවිධ රාජ්‍යයන්ගෙන් ලැබිණි.

1984 සිට රජයේ විදේශ ණය ප්‍රමාණය දේශීය ණය මට්ටම ඉක්මවා ගිය අතර, විශාල ආර්ථික හා සමාජ සංවර්ධන යටිතල පහසුකම් ව්‍යාපෘති කිරීම් විශාල වශයෙන් විදේශීය අරමුදල් මත ක්‍රියාත්මක වීම නිසා රටේ විදේශ ණය ප්‍රතිශතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව පෙනේ. මෙහි දී වඩා වැදගත් වන්නේ මෑතක් වනතුරුම (2005) දක්වා අපට ලැබුණු විදේශ ණය සහනදායී කොන්දේසි මත අඩු පොලී අනුපාතයකට ලබාගැනීමට හැකිවීමයි. එය අපේ රටේ සංවර්ධනයට දෙනු ලැබූ ප්‍රබල අනුග්‍රහයක් විය. විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය වර්තමානයේ රටක සංවර්ධනයේ ප්‍රධාන පාඨයක් බවට පත්ව තිබේ. එය වැදගත් වන්නේ දේශීය වශයෙන් රටේ ජනතාවගේ පහසුවට හා දේශීය නිෂ්පාදනවල පහසුවට පමණක් නොව විදේශ ආයෝජකයන් ඇද ගැනීම සඳහා ද වැදගත් වන නිසා ය. විදේශ ආයෝජන කැඳවා ගැනීමෙන් හා අපනයන ආදායම වර්ධනය කර ගැනීමෙන් තොරව වර්තමාන ගෝලීය ආර්ථික සංදර්භය තුළ අප වැනි රටවලට අනාගතයක් ඇති බවක් නොපෙනේ.

මේ සඳහා අපට රටවල් 190ක් සමඟ තරග කිරීමට සිදු වේ. විශේෂයෙන්ම බංගලිදේශය, වියට්නාමය, මියන්මාරය වැනි ආසන්න ආසියානු රටවල් අපට වඩා ලිහිල් කොන්දේසි යටතේ ආයෝජනයට ඉඩප්‍රස්ථාව සලසා ඇත. මේ නිසා ශ්‍රී ලංකාවට තියුණු තරගයකට මුහුණ දීමට සිදු වී ඇත. මේ තරගයේ දී අඩුම තරමින් යටිතල පහසුකම් නිසි පරිදි සංවර්ධනය වී තිබීම වැදගත් මෙන් ම අත්‍යාවශ්‍ය සාධකයකි. උදාහරණයක් වශයෙන් පැය 24 පුරාම විදුලිය පැවැතීම හා රටේ ජනගහනයෙන් 98%කට විදුලිය පහසුකම් පැවැතීම ශ්‍රී ලංකාවට ආයෝජන ඉඩ ප්‍රස්ථා සැපයීමේදී හොඳින් ලකුණු වැටෙන සාධකයකි.

විශේෂයෙන්ම රටකට ණය ආධාර අවශ්‍යවන්නේ එදිනෙදා වියදම් හා ජනතාවට සහනාධාර ලබා දීමට නොවන විදේශ ආයෝජන හා අපනයන සඳහා ඇවැසි පරිසරය සැකසීම වෙනුවෙනි. ඒ පිළිබඳ විවාදයක් තිබිය නොහැකිය. රටේ ආදායම වැඩිවන්නේ නම් එම මුදල් ජනතාවට අත දිගහැර සහනාධාර වෙනුවෙන් වැයකළ හැකිය. එහෙත් අපේ රටේ දේශපාලන අවශ්‍යතා උදෙසා ද සහානාධාර ක්‍රමවේදයක් පවත්වාගෙන යෑමත් ඒ සඳහා ද ණය ලබාගැනීමට සිදු වී තිබෙන නිසාත් මේ වනවිට ප්‍රශ්න ගණනාවක් මතු වි තිබේ.

රටක් වශයෙන් ණය ආධාර ලබා ගැනීමේදී අඩු පොලියට ගත් ණය රටේ සංවර්ධනය වෙනුවෙන් උපරිම ප්‍රයෝජනයට ගත හැකි අයුරින් කළමනාකරණය කර ගැනීම රජයක් ලෙසින් ඉටුවිය යුතු ජනතාව බලාපොරොත්තු වන කාර්යයකි. පසුගිය සමයේ එය එසේ සිදු වී තිබෙන බවක් ද නොපෙනේ. ලෝකයේ සංවර්ධනය වන්නා වූ රටවල ණය කළමනාකරණය සම්බන්ධයෙන් බරපතළ ගැටුම්කාරී වාතාවරණයක් පැන නැඟුණේ 1992 හා 2008 යුගවල දී ය. මේ නිසා ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පැවැති රටවල් පවා අර්බුදයකට ලක්විය. අවසානේ මේ තත්ත්වය මඟහරවා ගැනීමට තිත්ත බෙහෙත් බීමට එම රටවලට සිදුවිය. ඊට හේතුව ද මෙම ණය කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව පසු වන්නේද එවන් අර්බුදයක් අභියස බව පැහැදිලිය. මේ නිසා පසුගිය දිනෙක අගමැතිවරයා සඳහන් කළ පරිදි තිත්ත බෙහෙත් බීමට අපට ද සිදු වී තිබේ. එය මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවුණ ද ඊට කරගැසීමට සිදු වී තිබෙන්නේ වත්මන් රජයටයි. එක් අතකින් සහනාධාර ආර්ථියකයක් නඩත්තු කිරීම සහ අනෙක් අතින් ගත් ණය හා පොළිය වාරික වශයෙන් ගෙවා දැමීමට සිදුවීමයි. තෙවැනි සාධකය රටේ අපනයන ආදායම අඩුවීමයි. සිව් වැනිව අපනයන ආදායම අඩුවීම නිසාම එදානෙදා වියදම් පියවා ගැනීමට පවා ණය ගැනීමට සිදු වී තිබීමයි.

මෙවන් සිව්වැදෑරුම් අර්බුදයකට රට මුහුණ දෙමින් සිටී. ඉන් ගත් ණය ගෙවා දැමීමට රටේ ආදායම ප්‍රමාණවත් නොවීම ප්‍රධාන ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් ණය ආධාර මත ගොඩනැඟෙන සංවර්ධන ව්‍යාපෘති ඒවා අවසන් වීමත් සමඟම රටේ යහපතට මෙන්ම ගත් ණය පොළිය සමඟ ගෙවීමට ඉන් ලැබෙන පල ප්‍රයෝජන ඉවහල් විය යුතුය. මීට හොඳම උදාහරණය බහු කාර්ය කඩිනම් මහවැලි ව්‍යාපාරයයි. මීට ණය ආධාර ලැබුණේද ඉතා අඩු පොළියට ය. මහවැලියේ ප්‍රදාන ජලාශ 5 නිමවීමත් සමඟම රටේ විදුලිය පද්ධතියට එතෙක් නිපදවා ඇති විදුලිය නිෂ්පාදනයට වඩා වැඩි විදුලිය නිෂ්පාදනයක් එකවර ජාතික විදුලිබල පද්ධතියට එක්විය. මේ සමඟම ඛනිජ තෙල් හා ගෑස්මගින් නිපද වූ විදුලිය ඒකකයක නිෂ්පාදන වියදම තුන්ගුණයකටත් වඩා අඩුවිය. ඒ යුගයේ හැටියට ජල විදුලිය ඒකකයක නිෂ්පාදන වියදම රුපියලකටත් වඩා අඩු වූ බව පැවසේ. මේ සමඟම විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධනවලට ඇදී ගිය විදේශ විනිමය ද ඉතිරි වී රටේ සමස්තයක් වශයෙන් විදුලිය නිෂ්පාදන වියදම අඩුවුණි. මෙය කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදනයන්ට ද ප්‍රබල බලපෑමක් ඇති කළේය. එය නිෂ්පාදන වියදමේ අඩුවීමේ පැත්තෙන්ය. මීට අමතරව මහවැලි ජලයෙන් අලුත් ඉඩම් වගාවට එක්වීමත් සමඟම රටේ වී නිෂ්පාදනය දෙගුණ තෙගුණ විය. අතිරේක බෝගවගාවන් ද ක්‍රමයෙන් දියුණුවීමට පටන් ගැනුණි. නව ගම්මාන හා නගර ඇතිවෙමින් ඒවායේ දායකත්වය රටේ නිෂ්පාදන ක්ෂේත්‍රයට එක්විය. පිටරටින් ගෙන්වනු ලබන සහල් හා වෙනත් ආහාර භෝග ප්‍රමාණයන් අඩුවීමත් එමඟින් පිටට ඇදීගිය විදේශ විනිමය අඩුවීමත් නිසා මහවැලිය රටේ ජාතික ආර්ථිකයට ප්‍රබල බලපෑමක් එල්ල කළ බව අතිශෝක්තියක් නොවේ.

මෙවන් බහුකාර්ය යෝජනා ක්‍රමයක් ණය වී ගොඩනැඟීමේ වරදක් නැත. අදාළ යෝජනා ක්‍රමය අවසන් වීමත් සමඟම ඊට අදාළ ණය වාරිකය හා පොළී ප්‍රමාණය ගෙවා දැමීමට පමණක් නොව රටේ ආර්ථිකයේ විවිධ අංශවල පිබිදීමක් ඇතිවීමට ද එම ව්‍යාපෘතිය හේතුවක් විය. අනෙක් පැත්තෙන් මේ සඳහා ගත් ණය හා පොළිය ගෙවීමට අමතරව තවත් මුදලක් රට තුළ උපයාගැනීමට ද මහවැලිය හේතුවක් විණි. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුළ ක්‍රිමයාත්මක වූ පලදායී ව්‍යාපෘතියකට හොඳම උදාහරණය හා හොඳ ම සාම්පලයක් ලෙස මහවැලිය හැඳින්විය හැකිය.

පසුගිය සමයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති මඟින් රටට අත් වූ ප්‍රතිලාභය ගණනය කරනවිට මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, ආදී ව්‍යාපෘති මගින් ක්ෂණිකව හෝ මධ්‍ය කාලීන වශයෙන්වත් රටට අත්වන සෙතක් පෙනෙන තෙක් මානයක නැත. එහෙත් මේ සඳහා අධික පොළියට ගන්නා ලද ණය අදාළ දිනට ගෙවීමට සිදු වී තිබේ. මේ ණය වුව ද වානිජ පදනමින් අධික පොළියට ගනු ලැබූ ඒවා බව පැහැදිලි ය. මෙතරම් අධික පොළියට ප්‍රතිලාභයක් අත්වීමේ බලාපොරොත්තුවක් නොමැති ව්‍යාපෘති රටතුළට ගෙන ආවේ මන්ද ? යන කාරණය නම් පැහැදිලිය. දැනට හෙළිදරව් වෙමින් හා උසාවිවල දිගහැරෙමින් පවතින කාරණා දෙස බලන විට නම් ඒවාට පිළිතුරු සොයාගත හැකිය.

එහෙත් රට ණයකර තිබෙන ප්‍රමාණය හා එමගින් ගොඩනැඟී තිබෙන අර්බුදය සරල නැත. රටේ අපනයන ආදායම 2005ට වඩා 50%කටත් වඩා අඩුවෙමින් පවතින යුගයක අධික පොළියට මුදල් ණයට ගෙන ඒවායේ ඇස්තමේන්තුවලටත් වඩා වැඩියෙන් මුදල් වියදම් කර ඵලදායී නොවන මහා පරිමාණ ව්‍යාපෘතිවලට වූ ණය ගෙවා දමමින් නඩත්තු කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අද මේ ආණ්ඩුවට සිදු වී තිබෙන්නේ මේ ණය අර්බුදය කළමනාකරණය කරගනිමින් රට ඉදිරියට ගෙන යෑමටයි. මේ සඳහා ගත් ණයවල වාරිකය හා පොළිය ගෙවා දැමීමටත් ක්ෂණිකව ණය ගැනීමටත් සිදු වී තිබේ. වත්මන් රජයට ණය ගැනීමට සිදු වී තිබෙන්නේ පසුගිය රජයේ ණය පව්වලට කර ගැසීමට බව පැහැදිලිය. මේ තත්ත්වය පෞද්ගලිකව පවුලකට සිදු වුවහොත් ඇතිවිය හැකි තත්ත්වය කෙබඳුද ? එයම රටට ආදේශ කරන්නේ නම් අර්බුදයේ තරම පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.

රාම්

Share on Google Plus