ෆොනීට උත්තර දෙන්න ගෝඨා මැතිසබයට.


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් ලබා දීම කෙරෙහි ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සඳහා මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ විසින් ගෙන යමින් තිබෙන ව්‍යාපාරය පරාජය කිරීම සඳහා ඇති හොඳම විසඳුම මෙය බව එම ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරුන්ගේ අදහස වී ඇත. මේ වෙනුවෙන් මන්ත‍්‍රී ධුරය ප‍්‍රදානය කිරීම සඳහා මෙවර පාර්ලිමේන්තුවට මුල් වරට පත් කරන ලද නවක මන්ත‍්‍රීවරයකු ඉදිරිපත් වී සිටින බව ද දැන ගැනීමට ඇත.

මේ සඳහා ජනාධිපතිවරයාගේ ද කැමැත්ත හිමිවනු ඇති බව ඔවුන් විශ්වාසය පළ කරයි. මන්ද පසුගිය මහ මැතිවරණයේ දී ශ‍්‍රීලනිපයේ අගමැති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීම සඳහා මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්ත පළ වී තිබුණු බවත් මහින්ද රාජපක්ෂගේ විරෝධය මත ගෝඨාභය රාජපක්ෂ මහතාට එම අවස්ථාව නොලැබුණ බවත් ඔවුන් පෙන්වා දෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාව ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ විරෝධයක් මතුව නොමැති බව ද වාර්තා වේ. පසුගිය රාජපක්ෂ පාලන සමයේ අවසාන කාලයේ දී ද ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව මැදිහත් වී සිරිසේන මහතාගේ හා වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සලසා දීම හා වෙනත් උපකාර කර දී ඇති බව පැවසේ. මේ නිසා ඔවුනොවුන් අතර විශේෂ හිතවත්කමක් ඇති බව ද දැන ගැනීමට ඇත.

කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් ලබා ගැනීම කෙරෙහි ඔහුගේ අකැමැත්තක් නොමැති බවය. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී ධුරයක් හිමි කරගෙන සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවා වී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පළ කරන අදහස්වලට ප‍්‍රති උත්තර බැඳීමේ අවශ්‍යතාව හා ජනාධිපතිවරයාගේ නියෝජිතයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීම මඟින් තමාට එරෙහිව වන සියලූ බලවේග පරාජය කළ හැකි බව ඔහුගේ විශ්වාසය බව ද දැන ගැනීමට තිබේ. ෆොන්සේකා මහතා පසුගිය දින කිහිපයේ දී රාජපක්ෂවරු සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල කර තිබිණි.

මේ අතර පසුගිය දා මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවක දී ජෝන් සෙනවිරත්න මහතා හා ඩිලාන් පෙරේරා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාව ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුවේ තනතුරක් හිමිවීම තුළ ආණ්ඩුව කෙරෙහි ඇති පදනම් විරහිත චෝදනා පහසුවෙන් නිෂේධනය විය හැකි බවත් ඔවුන්ගේ මතය වී ඇත. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට මධ්‍යම පාන්තික ජනතාව තුළ ඉහළ පිළිගැනීමක් තිබෙන බවත් ඔවුහු අවධාරණය කළහ.

ඒ කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට පිහිටුවා ගෙන තිබෙන බුද්ධි මණ්ඩලයේ අදහස වී ඇත්තේ රාජපක්ෂ මහතා තවත් කාලයක් නිහඬව සිටිය යුතු බවය. මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු රැලියකට සහභාගී නොවී සිටිය යුතු බව එම මණ්ඩලයේ තීරණය වී ඇත. ඒ අනුව පසුගිය දින කිහිපයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු කටයුත්තකට ඔහු සහභාගී වූයේ නැත. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ඔහු පවසා සිටියේ ද ‘‘මං ඕවට නැහැ.” යනුවෙනි. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට අපේක්ෂා කරන මැයි දින රැලියට හෝ වෙනත් කිසිදු රැලියකට තමා සම්බන්ධ නොවන බව ද ඔහු පැවසීය.

නමුත් ඒකාබද්ධ විපක්ෂයේ ජාතිකවාදී පදනමින් කටයුතු කරන පිරිසේ දැඩි වුවමනාව වී ඇත්තේ තම කණ්ඩායමේ නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව පත් කර ගැනීමය. එහෙත් ඊට මහින්ද රාජපක්ෂ මහතා එරෙහිව තිබෙන අතර සියලූ කටයුතු බැසිල් රාජපක්ෂ මහතාගේ අනුදැනුමට යටත්ව සිදුවිය යුතු බව දැනුම් දී ඇත. ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍යව ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාව ඉදිරියට ගැනීම බවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට ගත් උත්සාහයේ අරමුණ වූයේ ද මෛතී‍්‍රපාල සිරිසේන මහතාට දැඩි බලපෑමක් සිදු කර නාමල් රාජපක්ෂ මහතාට පක්ෂයේ ඉහළ තනතුරක් නිර්මණය කර දීම බව ද මේ වෙනුවෙන් විශේෂ නියෝජිත පිරිසක් මෛත‍්‍රී පාර්ශ්වය සමඟ සකච්ඡා සිදු කර ඇති බවත් පැවසේ. එහි දී ශ‍්‍රීලනිපයේ තනතුරකට අමතරව නියෝජ්‍ය විදේශ ඇමැති ධුරය ද නාමල් රාජපක්ෂ මහතාට ලැබිය යුතු බව මහින්ද රාජපක්ෂ වෙතින් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත. ඊට අමතරව මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා හැරීම, තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන නවතා දැමීම ද වෙයි. පසුගිය සති කිහිපය මුළුල්ලේම නාමල් රාජපක්ෂ හා මෙම විශේෂ නියෝජිතයන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැති අතර එහි දී ඇතැම් කරුණු කාරණා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාව මෙහෙයවා ගැනීමේ වගකීම ද නාමල් රාජපක්ෂ මහතාට පවරා ඇත. මහින්ද රාජපක්ෂ මහතා විටින් විට ජනාධිපතිවරයා ඉලක්ක කර එල්ල කරන ප‍්‍රහාරයන් මෙම සකච්ඡාවලට බාධාවක් වී තිබේ.

- සුභාෂ් ජයවර්ධන
SathHanda.lk

Share on Google Plus