එජාපය සුද්ද කරන්න රනිල් සූදානම්.


එක්සත් ජාතික පක්ෂය එහි අනාගතය හා අනාගත අභියෝගයන්ට ගැළපෙන ලෙස පූර්ණ ප්‍රතිසංවිධානයකට යොමු කිරීමට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙයි. ඊට සාපේක්ෂව පක්ෂයේ නිලතල සංශෝධනයක්ද සිදු කිරීමට නියමිතය.

ඒ අනුව පක්ෂයේ දෙවන සහ තුන්වැනි පෙළ නායකයන්ට වැඩි වැඩියෙන් අවස්ථා ලබාදීම පදනම් කරගනිමින් මේ ප්‍රතිසංවිධාන කටයුතු ඇරැඹීමට පක්ෂ නායක අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ. පක්ෂ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීමට සාපේක්ෂව ආණ්ඩුවක් ලෙස ජනතාව ඉදිරියේ තබා ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම එහි අරමුණ වෙයි.

මේ ක්‍රියාන්විතය ඉදිරියට ගෙනයෑම සඳහා එහි මූලික පියවරක් ලෙස පක්ෂයේ දෙවන පෙළ නායකයන්ට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදී ඇති අතර ඔවුන් දක්වන ප්‍රගතිය හා සාර්ථක භාවය මත පක්ෂයේ අනාගත නායකත්වයට හිමිකම් ලබනු ඇත.

පක්ෂයේ තුන්වන පෙළ නායකත්වයද මේ වන විට නිර්මාණය කෙරෙමින් තිබෙන අතර පසුගියදා පැවැති "අලුත් ශ්‍රී ලංකාවට ඉඩ දෙන්න" තේමා කරගත් ජන ව්‍යාපාරය සංවිධානය කරලීමේ ප්‍රධාන වගකීමද පවරා තිබුණේ ඔවුන් වෙතය. ඒකාබද්ධ විපක්ෂයේ පළමු පෙළ නායකත්වය සංවිධානය කළ හයිඩ් පිටියේ රැලියට වඩා සාර්ථක ජන ව්‍යාපාරයක් සංවිධානය කිරීමට එජාපයේ තුන්වන පෙළට හැකියාව ලැබීම ගැන පක්ෂයේ ප්‍රසාදය පළවී තිබේ.

තරුණ නායකයන්ට ඉදිරියට ඒමේ අවස්ථා තව තවත් පුළුල් කිරීම අරමුණු කොටගෙන පක්ෂයේ නිලතල සංශෝධනයක්ද සිදු කිරීමට නියමිත බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබන සැප්තැම්බරයට යෙදෙන පක්ෂයේ 70 වැනි සංවත්සරයෙන් පසුව පක්ෂයට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 

Share on Google Plus