Royal සිසුන් අපි ඇතුළට ගෙන්න ගත්තා - Bishop, Ladies විදුහල්පතිනියෝ අමුතු කතාවක් කියති.


කොළඹ බිෂොප් විද්‍යාලයට සහ කාන්තා විද්‍යාලයට බලෙන් ඇතුළු වීමට තැත් කළ බවට කොල්ලූපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රාජකීය විද්‍යාලයේ සිසුන් තමන් විසින් සිය කැමැත්තෙන් ගෙන්වාගත් බවට එම විද්‍යාලවල විදුහල්පතිනියන් කොල්ලූපිටිය පොලිසියට ප‍්‍රකාශයක් ලබා දී ඇති බව පවසමින් පොලිසිය ඊයේ (17දා) කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා වෙත වැඩිදුර වාර්තාවලින් දැනුම් දුන්නේය.

මේ සිද්ධියට අදාළ නඩුව ඊයේ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ කොල්ලූපිටිය පොලිසිය විසින් වාර්තාව ඉදිරිපත් කරන ලදී.

පසුගිය අටවැනි දින බිෂොප් විද්‍යාලයට හා කාන්තා විද්‍යාලයට බලෙන් ඇතුළු වීමට තැත් කළ බවට කොල්ලූපිටිය පොලිසිය විසින් රාජකීය විද්‍යාලයේ සිසුන් දාහතර (14) දෙනකු අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඊයේ (17දා) අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබිණි.

ඊයේ මේ සිසුන් අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ කොල්ලූපිටිය පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් බිෂොප් විද්‍යාලයේ සහ කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනියන් විසින් පොලිසියට ප‍්‍රකාශ ලබාදෙමින් මේ සිසුන් තමන් සිය කැමැත්තෙන් තම විද්‍යාලවලට ගෙන්වා ගත් බවත් එම නිසා මේ සම්බන්ධයෙන් මින් ඉදිරියට නීතිමය ක‍්‍රියාමාර්ග නොගන්නා ලෙසම ඉල්ලා ඇති බවත් එම ඉල්ලීම මත මින් ඉදිරියට නීතිමය ක‍්‍රියාමාර්ග නොගන්නා බවත් දන්වා සිටියේය.

පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාව සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා රාජකීය විද්‍යාල සිසුන් දාහතර දෙනා නිදහස් කර මුදා හැරීමට නියෝග කරමින් නඩුව බහා තබන ලදී.

Share on Google Plus