‘ආණ්ඩුව අපේ - පොලිසිය ගෝඨාගේද?' - අගමැති අසයි !



එළඹෙන 19 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ එල්ටීටීඊ සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකාව වී සිට පසුව පුනරුක්ථාපන කඳවුරක සිට නිදහස ලැබූ තමිලිනී හෙවත් සුබ‍්‍රමනියම් සිවකාමි ගේ  ජීවත කතාව ඇතුළත් කෘතිය දොරට වැඩීමේ උත්සවය නවතා දැමීමට කිලිනොච්චිය පොලීසිය ගත් උත්සාහය, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් නිමා වී ඇත්තේ  සැබෑ ජාතික සංහිදියාව වචනයෙන් නොව ක්‍රියාවෙන්ම පෙන්වමිනි.

පොත එලි දැක්වීමේ උත්සවය වෙනුවෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානයෙන් තමලිනීගේ ස්වාමිපුරුෂයා වන ජෙයකුමාර් අවසර පැතූ විට ඒ සඳහා අවසර ලබා දීමට හැක්කේ පොතේ ඇතුලත් සමහර ඡායාරූප ඉවත් කර පිටකවරය වෙනස්කරන්නේ නම් පමණක් බව පොලීසිය පැවසීමත් සමග එතෙක් සංවිධානය වෙමින් පැවති උත්සවයේ කටයුතු තාවකාලිකව නවතා දැමුණි.

මේ බව සැලවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක සහ සංහිදියාව පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අගමැතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා අවසර ලබා දෙන ලෙස අගමැතිවරයා විසින් ආරක්ෂක ප්‍රධානීන්ට මෙම උත්සවයට කිසි සේත්ම බාධා නොකරන ලෙස උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

යහපාලන ආණ්ඩුවට බලයට ගෙන ඒමේ විශාල කාර්ය භාරයක් සිදුකළ පුරවැසි බලය සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු වන  ප්‍රවීණ චිත්‍රපට හා නාට්‍ය අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක මහතා මතුව ඇති තත්වය පිළිබඳව මනෝ ගනේෂන් අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු අගමැතිවරයා හා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබේ.


කිලිනොච්චිය පොලීසියේ ක්‍රියාකළාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කොට ඇති අගමැතිවරයා ‘ආණ්ඩුව අපේ - පොලීසිය ගෝඨාගේද?' යැයි ප්‍රශ්න කොට ඇත.    


මියගිය එල්ටීටීඊ නායිකාවක් සම්බන්ධයෙන් පොලීසිය මෙසේ ක්‍රියා කිරීමෙන් වැඩි වාසිය ලැබෙන්නේ දෙමළ ජාතිවාදීන්ට බව පෙන්වා දී ඇති අගමැතිවරයා ආණ්ඩුව ජාත්‍යන්තර අපකීර්තියට ලක්වීම වැලැක්වීම සම්බන්ධයෙන් මනෝ ගනේෂන් මහතාටත් ධර්මසිරි බණ්ඩාරනායක මහතාටත් කෘතවේදීත්වය පලකොට ඇත.


ඒ අනුව අදාළ පොත එළිදැක්වීමේ උත්සවයට පොලිස් අවසර ලැබී තිබේ. මේ බව තමලිනී ගේ සැමියා වන ජෙයකුමාර් මහතා තහවුරු කලේය.


තමිලිනී, මහරගම පිලිකා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මියගිය අතර මිය යෑමට ප්‍රථම සිය ජීවිත අත්දැකීම් ඇතුළත්ව පොත ලියා තිබුනි. තමලිනීගේ සැමියා වන ජෙයකුමාර් මහතා මෙම පොත ප්‍රකාශයට පත් කොට ඇත. මහා බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන ජෙයකුමාර් මහතා පවසන්නේ මහරගම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන්  මෙම පොත අලෙවියෙන් ලැබෙන සියළු මුදල් පරිත්‍යාග කිරීමට තීරණය කොට ඇති බවයි.



Share on Google Plus