චම්පිකගේ ලේකම්වරුන්ගෙන් බලපෑම්


පසුගිය දා රාජගිරිය ප්‍රදේශයේ දී අමාත්‍ය පාඨලී චම්පික රණවක පැදවූ රථයකින් අනතුරක් සිදුවූ බව කියන සිද්ධියේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල වෙමින් තිබෙන බව අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිලි කළේය.

අද බදාදා පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී අගතියට පත් පාර්ශවයේ නීතිඥ නුවන් ජයවර්ධන අධිකරණය හමුවේ කියා සිටියේ රණවක අමාත්‍යවරයාගේ ලේකම්වරු විසින් දුරකථන ඇමතුම් ලබා දෙමින් මෙම සිද්ධිය සමථයකට පත් කර ගන්නා මෙන් බලපෑම් කරන බවයි.

මේ පිළිබඳව වැලිකඩ පොලිසියට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගියද පොලිසිය පැමිණිල්ල එම අවස්ථාවේ දී සටහන් කර නොගත් බවයි නීතිඥ නුවන් ජයවර්ධන කියා සිටියේ.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කළේය.

මෙම රිය අනතුරේ සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබෙන චම්පික රණවක ඇමතිවරයාගේ රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කරුණු දක්වමින් මෙම සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරුවන් දෙදෙනා මුලින්ම පොලිසියට ලබාදුන් කට උත්තරයේ චම්පික රණවක ඇමතිවරයා පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකළ බවයි කියා සිටියේ.

එහෙත් ප්‍රභුවරයෙකුගෙන් ඔවුන්ට ලැබුණු දුරකථන ඇතුමකින් පසුව අදාළ සාක්‍ෂිකරුවන් දෙදෙනා මෙම සිද්ධියට චම්පික රණවක ඇමතිවරයා පටලවා ඇති බව විත්තියේ නීතිඥ මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කළේය.

“ මෙම සාක්‍ෂිකරුවන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳව ද පරික්ෂා කල යුතුයි. ඒ නිසා ඒ පිළිබඳව පොලිසියට නියෝගයක් පවනවන මෙන් ඉල්ලීමක් කරනවා” යනුවෙන් ඔහු පැවසීය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය මෙම සිද්ධියේ ඇසින් දුටු සාක්‍ෂිකරුවන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳව ද පරික්ෂාකර වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියෝග කළේය.



Share on Google Plus