අවුරුදු උත්සව අත්තිකාරම් නැතිවන ලකුණු.


රටේ සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින්ට හට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල ලබා දීමට අවශ්‍ය මූල්‍ය ප්‍ර‍තිපාදන නිදහස් කරන්නැයි දුෂණ විරෝධී පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලීමක් කරයි.

රාජ්‍ය ආයතන සමහරක් සේවකයින්ට මෙවර උත්සව අත්තිකාරම් ලබාදීමට නොහැකි ආර්ථික අර්බුදයක සිටින බවට පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ‘දුෂණ විරෝධී පෙරමුණ‘, මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය සහ අදාළ වගකිවයුතු ආයතන වෙතින් එම ඉල්ලීම කර තිබේ.

එම ඉල්ලීම ඉදිරිපත් කරමින් ‘දුෂණ විරෝධී පෙරමුණ‘ නිකුත්කළ නිවේදනයක මෙසේද සඳහන්වේ.

දුෂණ අක්‍ර‍මිකතා සහ වෙනත් හේතු මත පාඩු ලබන රාජ්‍ය ආයතන ගණනාවක සේවකයින් හට උත්සව අත්තිකාරම් මුදල් ලබාදීමට නොහැකි තත්වයක් උද්ගතවී තිබේ.

විශාල වශයෙන් පාඩු ලැබීම, ණය මුදල් ගෙවා ගත නොහැකිවීම, නාස්තිය හා දුෂණය හේතුවෙන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන හා අර්ථ රාජ්‍ය සේවා ආයතන මෙම තත්වයට පත්ව ඇත.

මෙවැනි සමහර ආයතනයන් හි වැටුප් ගෙවීම සදහා පමණක් භාණ්ඩාගාරය වෙතින් මේ වන විටත් මාසිකව මුදල් ලබා දෙන නමුත් සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සදහා උත්සව අත්තිකාරම් ගෙවීම සදහා ප්‍ර‍මාණවත් මුල්‍ය තැම්පත් ඔවුන් වෙත නොමැතිය.

ඒ නිසාම මෙම ආයතනයන් හි සේවකයින්ට ලාංකිකයින්ගේ මහා සංස්කෘතික මංගල්‍ය සමයේ දී ආර්ථික වශයෙන් දැඩි පීඩණයකට මුහුණදීමට සිදුව තිබේ.

සමාජයේ සෑම පුද්ගලයෙකුටම උසස් ජීවන තත්වයක් ඇති කිරීම රජය වෙත අනිවාර්යයෙන්ම පැවරෙන වගකීමකි.

අද වන විට වැටුප් ගෙවා ගැනීමට හෝ නොහැකි ආකාරයකට බංකොලොත් වී ඇති රාජ්‍ය ආයතන බොහෝමයක් එම තත්වයට පත් වූවේ මුල්‍ය අක්‍ර‍මිකතා සහ අයහපත් කලමණාකරණය හේතුවෙන් මිස එහි සේවකයින්ගේ වරදින් නොවේ.

ඒ නිසාම මේ පිරිසට සමාන ලෙස සැලකීමේ වගකීමක් රජය වෙත පවතී.

උත්සව අත්තිකාරම් ගෙවීමට මුල්‍ය සම්පත් නොමැති රාජ්‍ය ආයතනයන් හි සේවකයින් සදහා පහසුකම් සැලසීමට මැදිහත් වන ලෙස ‘දුෂණ විරෝධී පෙරමුණ‘ ප්‍ර‍මුඛ සිවිල් සංවිධාන එකමුතුව රජයට බලකර සිටී.

Share on Google Plus