නොරොච්චෝලේ කොටසක් අකි‍්‍රය කරයි.


ජා-ඇල කොටුගොඩ ග‍්‍රීඞ් විදුලි උපපොළේ ට‍්‍රාන්ස්ෆෝමරයක සිදුවූ හදිසි පිපිරීමත් සමගම නොරොච්චෝලේ බලාගාරයේ එක් අදියරක් අක‍්‍රිය කර තිබෙනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ අනෙක් අදියර දෙකෙහි ද විදුලි උත්පාදනය සීමා කර ඇති බවයි. ආරක්ෂිත උපක‍්‍රමයක් ලෙස මෙම පියවර අනුගමනය කළ බවද ඒ මහතා ප‍්‍රකාශ කළා. 

ජා-ඇල කොටුගොඩ ග‍්‍රීඞ් විදුලි උපපොළේ ට‍්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හටගැනුණේ අද (18) පස්වරුවේයි. ඒ සමගම එම ට‍්‍රාන්ස්ෆෝමරයේ පිපිරීමක් ද සිදුවුණා. කෙසේ වෙතත් ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ වන විට එම ට‍්‍රාන්ස්ෆෝමරය අලූත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ට‍්‍රාන්ස්ෆෝමරයේ ගින්නත් සමග ඇති වූ පිපිරීම නිසා ජා-ඇල සහ කොටුගොඩ අවට ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම ඇණහිට තිබෙනවා.

මෙම පිපිරීම ද ඉකුත් දා බියගම ලැගුම්පොළෙහි සිදුවූ පිපිරීමට සමාන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළා. 

මෙම ග‍්‍රීඞ් විදුලි උපපොළට ගුවන් හමුදා ආරක්ෂාව ද සපයා තිබුණා. පිපිරීමත් සමග රටපුරා විදුලි බිඳවැටීමක් සිදුවීම වළක්වා ගැනීම සඳහා නොරොච්චෝල බලාගාරයේ එක් අදියරක් අක‍්‍රිය කළ බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ. 

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා රජයේ රසපරීක්ෂකවරයා ද පැමිණ තිබෙනවා.

Share on Google Plus