බලය ගැන සමහරු දකින හීන සැබෑවෙන්නේ නෑ.


බලය පිළිබඳ තිබෙන සිහින, කෑදරකම් සහ අපේක්ෂාවන් කොතෙක්ද කියනවා නම් මට බලය දෙන්න කරන හැටි මම පෙන්වන්නම් කියා කියනවා. සමහර අය එවැනි සිහින දැක්කට ඒ සිහින සැබෑ වෙන්නේ නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (27දා) රාත්‍රියේ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වෙමිනි.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහත්වරුද ජනාධිපතිවරයා සමඟ එක්ව සිටියහ.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ ප්‍රශ්න හා පිළිතුරු මෙසේය,

ජනාධිපතිතුමනි, පසුගිය කාලය තුළ ඔබතුමාගේ නායකත්වය යටතේ මේ රටේ සමාජ, ආර්ථික, දේශපාලන වෙනස්කම් සිදුවී තිබෙන ආකාරය පිළිබඳ ඔබතුමාගේ ඇගැයීම පැහැදිලි කළොත්?

අපි පළමු අවුරුද්ද තුළ රටට අවශ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න කටයුතු කළා. ඒ වෙනස්කම්වලට අවශ්‍ය පරිසරය ගොඩනඟන්න තමයි අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරලා, ස්වාධීන කොමිෂන් සභා හදලා මේ යහපාලනය කියන යථාර්ථය ඇති කිරීම සඳහා කටයුතු කළේ.

අපේ වැඩවල ප්‍රමාදයක් ගැන බොහෝ අය කතා කරනවා. මම ඒක පිළිගන්නවා. නමුත් පෙර ආණ්ඩුවේ පාලන කාලය තුළ පාරක් හදනවා නම්, පාර කිලෝමීටර් 100ක් නම් ලිපියක් එවනවා. මේක කොටස් තුනකට කඩලා සමාගම්වලට බෙදා දෙන්න කියලා. පහුවැනිදා සිට වැඩ පටන් ගන්නවා. ඒ වගේම තමයි ප්‍රධාන ව්‍යාපෘති ගත්තාම එක ව්‍යාපෘතියකටවත් ටෙන්ඩර් කැඳවීමක් නැහැ. යහපාලන වැඩපිළිවෙළ ආවේ මේ රටේ මූල්‍ය කළමනාකරණයක් ඇතිව, විනයක් ඇතිව වැඩ කළ යුතුයි කියන ජනමතය හා ඉල්ලීම මතයි. දැන් මේ වසරක කාලය ගත්විට ටෙන්ඩර් ක්‍රියාමාර්ගයකට අනුකූලව තමයි අපි බොහෝ ව්‍යාපෘති රාශියක් ආරම්භ කළේ.

සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කරන විට යම් ප්‍රමාදයක් ඇතිවෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම රටට අවශ්‍ය ඒ වෙනස පිළිබඳ හා පරිවර්තනය පිළිබඳ කතා කරන විට රජයක් විදියට කළ යුතු දේ ආරම්භ කරලා අනෙක් කටයුතුවලට මූලික අඩිතාලම දාලා තියෙනවා.

සමාජයේ භික්ෂුන් වහන්සේ පීඩනයට පත්කරමින් බුද්ධ ශාසනයට අවහිර වන විදියේ කටයුතු සිදුවන බවට චෝදනාවක් හා රණවිරුවන්ගේ අභිමානයට හානියක් වන විදියේ කටයුතු වනවාය කියලා චෝදනාවක් තියෙනවා. ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද?

මම අහනවා පසුගිය ආණ්ඩුවේ පාලනය කාලයේ හිටපු ජනාධිපතිතුමාගේ නිල කාලය තවත් වසර 2ක් තිබියදී එතුමා මැතිවරණයකට ගියේ ඇයි? දැන් අද වනතුරුත් හිටපු ජනාධිපතිතුමා හෝ වගකිවයුත්තෙක් පැහැදිලි පිළිතුරක් දීලා නැහැ ඒකට හේතු දක්වලා. නියමිත නිලකාලය හිටියා නම් ඔහු තමයි අදත් මේ රටේ ජනාධිපති. නමුත් මම දන්න විදියට එතුමා එහෙම කළේ ඒ ආණ්ඩුවට හා ඒ නායකයන්ට ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබුණ ප්‍රශ්න කිහිපයකට විසඳුම් නොමැතිව තිබුණා. ඒකට හොඳම පිළිතුර වුණේ ඡන්දයකට යෑම තමයි කියන අදහස තිබුණා. දැන් පරීක්ෂණ ගණනාවක් යනවා ප්‍රධාන ඝාතන සිද්ධීන් කිහිපයක් පිළිබඳව. රටේ ජනතාවගේ මතයක් ඇතිවෙලා තිබුණා මේ සිද්ධීන්වලට පරීක්ෂණ කරන්නේ නැද්ද කියලා.

මහජනතාව විසින් එදා ආණ්ඩුවට දීලා තිබුණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන්න බැරි වුණා. ජාත්‍යන්තර වශයෙන් ලබා දුන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන්නත් බැරි වුණා. අපි ආණ්ඩුව වෙනස් කරලා රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න මෙතැනට ආවේ. පසුගිය ආණ්ඩුවට පිළිතුරු දෙන්න බැරි වුණ ප්‍රශ්න පත්‍රයට අපි පිළිතුරු දුන්නා.

හමුදාවේ රණවිරුවන්ට හිරිහැර කරනවා කියන කාරණාවේදී බොහොම පැහැදිලිව කියන්න ඕන ජාත්‍යන්තර වශයෙන් අපට එල්ල වෙලා තියෙන චෝදනාවලදී මේ පරීක්ෂණ පවත්වලා අපිට තියෙන චෝදනාවලින් නිදහස් වෙන එකද හරි? වරදක් කොහේ හෝ සිදුවී තියෙනවා නම් ඒ වරද සිදුවුණු තැනට පමණක් දඬුවමක් කරන එකද හරි? එහෙම නැත්නම් කීර්තිමත් නමක් දරන අපේ රණවිරුවන් ලෝකය තුළ ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයට පත් කරන එකද හරි?

සිද්ධීන් කිහිපයක් පිළිබඳව පරීක්ෂණ පවත්වන්නේ ආරක්ෂක හමුදාවල නිලධාරීන් ඉලක්ක කරගෙන නොවේ. එක්නැලිගොඩ සිද්ධිය ගත්තාම ඒ පිළිබඳ රට තුළ විශාල කතාබහක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපි පරීක්ෂණයක් පටන් ගත්තා. මෙහිදී සැකකරුවන් විදියට රණවිරුවන් කිහිපදෙනෙක් පිළිබඳ පරීක්ෂණ කරගෙන යනවා. ඔවුන් නිවැරැදියි කියලා ඔප්පු වුණොත් නිදහස් වේවි. අපේ රට මේ හැමදෙයකින්ම නිදහස් වෙලා සංවර්ධනය වෙන්න ඕන.

අනෙක් කරුණ ස්වාමීන් වහන්සේ පිළිබඳ කතා කරන ප්‍රශ්නය. සමහර ස්වාමීන් වහන්සේ අධිකරණ භූමියේ වැරැදි ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් තිබුණා. මේකට ආණ්ඩුව වැරැදි නැහැ. අලි නීති විරෝධීව ළඟ තබා ගත්තා කියන චෝදනාව සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ නමක් වගේම වෙනත් පුද්ගලයන් ගණනාවක් පිළිබඳව පසුගිය කාලයේ පරීක්ෂණ සිදුකරලා තිබුණා. මේ කාරණාව මතු වුණේ කොහොමද කියලා බැලිය යුතුයි. මේ අලි හොරකම් සිදුවුණේ කොහොමද? ඒවාට උදව් කළේ කවුද කියලා සොයා බැලිය යුතුයි. වනජීවී ආඥාපනත ගත්තාම ඒ පනතට අදාළ සතුන් සොරකම් කිරීම, දඩයම් කිරීම ආදිය බරපතළ වැරැදි. කවදාවත් මේ රටේ සිදු නොවුණු දේවල් සිදුවෙලා තිබුණා. අලි පොත හොරකම් කරලා, අලිත් හොරකම් කරලා.

2015 ජනවාරි මස වන විටත් මන්දිරයෙ හිටියා අලි දෙන්නෙක්. මේවා කොයිතරම් දුරට නීත්‍යනුකූලයිද? සාදාචාරාත්මකද?

යහපාලන ආණ්ඩුවට තවත් චෝදනාවක් එල්ල වී තිබෙනවා. රට ජාත්‍යන්තරයට පාවා දෙන්නට කටයුතු කරනවා කියලා සහ රටට අවාසි සහගත ගිවිසුම්වලට එළැඹෙනවා කියලා. මේ පිළිබඳව අදහස කුමක්ද?

එක්තරා සුළු පිරිසක් එවැනි චෝදනාවක් කරනවා. නමුත් ඉතාම පැහැදිලියි රටේ සංවර්ධනය සඳහා අන්තර්ජාතික වශයෙන් ජාත්‍යන්තර සංවිධානවලින් වගේම ලෝකයේ සංවර්ධනය වූ රටවලින් මේ රටට අවශ්‍ය සංවර්ධනය අපි ලබාගන්න ඕන. ඒ වගේම සෑම රටක් සමඟ ආර්ථික වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීම අවශ්‍යයි. ඒ ඒ රටවල දියුණු වී තිබෙන තාක්ෂණික දැනුම අපි අපේ දරුවන්ට දෙන්නේ නැද්ද? ඇති කරගන්නා වූ ගිවිසුම් සම්බන්ධයෙන් අපේ රටේ ස්වාධීනත්වයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් පුළුල් ලෙස අධ්‍යයනය කරලා තමයි අස්සන් තබන්නේ. අපේ පැවැති ආණ්ඩුව තමයි ඉන්දියාව සමඟ සීපා ගිවිසුම පටන් ගත්තේ. එහි තිබුණ අපට අහිතකර දේවල් ඉවත් කරලා ඉන්දියාව සමඟ අලුත් එකඟතාවක් ඇති කර ගැනීමට මේ දිනවල අපි සාකච්ඡා පවත්වමින් යනවා. අපි ගිවිසුමක් අස්සන් කරලා නැහැ. අපි දළ කෙටුම්පතක් හදලා ඒ පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කරනවා. මෙහි ඊළඟ පියවර විදියට මේ ගිවිසුම් අස්සන් තැබීමට පෙර අපි රටට ඉදිරිපත් කරනවා. මහජනයාගේ සාකච්ඡාවට දෙනවා. දැනුත් දීලා තියෙනවා. ඉන්දියාව සමඟ අපේ සබඳතාව දහස් ගණනකින් පැරැණියි. අපිට චෝදනා කරන ඇතැම් අය අතර ශ්‍රී ලනිපයටත් සම්බන්ධ අය ඉන්නවා.

ඉන්දියාව සමඟ බොහොම සමීප සබඳතාවක් තිබුණේ බණ්ඩාරනායක කාලයේ කියලා බොහොම අභිමානයෙන් කියනවා. ඒක ගැන බොහොම වර්ණනා කරනවා. දැන් අපි මෝඩි අගමැතිතුමා එක්ක බිඳී තිබුණ සබඳතා ශක්තිමත් කරගෙන යන විට සාවද්‍ය ප්‍රකාශ ගෙනයනවා. මේ රටේ උගත් දරුවන්ට හා ජනතාවට රැකීරක්ෂා නැති කරලා ඉන්දියාවේ අයව මෙහෙට ගෙන්වන ගිවිසුම්වලට අපි එළැඹිලා නැහැ. මෙවැනි පටු ආකල්පයන් එක්ක සාවද්‍ය ප්‍රචාර ගෙනියන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. මෙවැනි චෝදනාවල තියෙන්නේ යථාර්ථය නෙවේ. දේශපාලන චෝදනා. ඒ නිසා මම පැහැදිලිව කියන්න ඕන අපි අපේ රටට අහිතකර ගිවිසුමක් අස්සන් තබන්නේ නැහැ. අපි කිසිදෙයක් රහසේ කරන්නෙත් නැහැ. ඒ ගැන කිසි කෙනෙක් බියක් ඇති කරගන්න ඕන නැහැ. එවැනි පාවාදීමක් කිසිම දවසක අපි සිදුකරන්නේ නැහැ.

ජනාධිපතිතුමනි, මේ කුමන්ත්‍රණකාරී චෝදනාව සම්බන්ධයෙන් මහ ලේකම්වරුන්ගේ අදහස්වලට අමතරව ජනාධිපතිතුමා වශයෙන් මෙය දකින්නේ කොහොමද?

අපේ ආණ්ඩුව පිළිබඳව දේශපාලන අස්ථාවරත්වයක් කතා කරන අය කරන්නේ රටට සහ රටේ ජනතාවට විශාල ද්‍රෝහිකමක්. මම එසේ කියන්නේ, දේශපාලන අස්ථාවරත්වයක් පිළිබඳව මතයක් ගොඩනැඟීමේ අරමුණ කුමක්ද කියා අපි සොයා බලන්න ඕන. දේශපාලන අස්ථාවරත්වයක් පිළිබඳව මතය රටේ ගොඩනැඟීම තුළ බලාපොරොත්තු වෙන්නේ මේ අපේ රජයට තිබෙන සියලු අංශවල සහයෝගය වළක්වාලීමයි. එක් දෙයක් තමා, රණවිරුවන්ට හිරිහැර කරනවා කියලා කියනවා. ඒ නිසා හමුදාව රජයත් එක්ක තරහෙන් ඉන්නවා කියනවා. එහෙම කියන්නේ හමුදාපතිවරයාව හිරේ දාපු අය. හමුදාපතිවරයාට වද දීලා දඬුවම් දීලා සියලු හිරිහැර කරපු ඇය දැන් අපිට කියනවා රණවිරුවන්ට හිරිහැර කරනවා කියලා.

දේශපාලන අස්ථාවරත්වයක් පිළිබඳව කතා කළ විට එක් පැත්තකින් ආයෝජකයන්, ව්‍යාපාරිකයන් කල්පනා කරනවා ආණ්ඩුව වැටෙයිද? එහෙනම් අපි ආයෝජනය කරලා වැඩක් නැහැ. මේ ව්‍යාපෘතීන් ආරම්භ කරලා වැඩක් නැහැ සිතා ඔවුන් පසුබෑමක් සිදු කරනවා. එමෙන්ම රජයේ නිලධාරීන්, පොලිසිය මේ අංශවල අයත් කල්පනා කරනවා අපි ආණ්ඩුව වැටෙයිද අපි කරගෙන යන කටයුතුවලට ප්‍රශ්නයක් වේද කියා.

මම ඉතා පැහැදිලිව කියන්නට ඕන අපේ මැතිවරණ ප්‍රකාශනවල, මගේ මැතිවරණ ප්‍රකාශනයේත් තිබෙනවා. මේ ජාතික ආණ්ඩු සංකල්පය, අගෝස්තු මස 17 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශනවලත් එක්සත් ජාතික පක්ෂයේත් මේ සංකල්පය තිබෙනවා. ඒ මැතිවරණ ප්‍රකාශවල තිබෙන කරුණු කෙසේ වෙතත් අගෝස්තු 17 වැනිදා පැවැති මැතිවරණයෙන් දුන් ප්‍රතිඵලයෙන් රටේ ජනතාව තීන්දුවක්, පණිවුඩයක් දී තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී ආණ්ඩුව කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂය 106යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව එක්සත් ජනතා නිදහස් සන්ධානය 95යි. මේ තීන්දුව තුළම ජනතාව කියන්නේ දෙගොල්ලෝ එකට එකතු වී ආණ්ඩු කරන්න කියලා. කාටවත් 113ක් නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් පසු අවුරුදු 4 1/2ක් යනකන් මැතිවරණයක් නැහැ. අද පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා නම්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 225න් 2/3ක යෝජනාවක් සම්මත වෙන්න ඕන. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියටත් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රිතුමා එක්සත් ජාතික පක්ෂය විදියට සහ අපිත් එක්ක සම්බන්ධ වී සිටින අපේ මිත්‍රශීලී දේශපාලන පක්ෂ ආණ්ඩුව තුළ හොඳ අවබෝධයකින් අපි කටයුතු කරනවා. ආණ්ඩුව අස්ථාවරයි කියන ප්‍රකාශයත් එක්ක ඊළඟට බලය පිළිබඳව තිබෙන එක එක්කෙනාගේ සිහින, කෑදරකම් සහ අපේක්ෂාවන් කොතෙක්ද, ආණ්ඩුව කරන අයගෙන් බාහිරව වෙන කෙනකුට ආණ්ඩුවක් හදන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබිලා නැහැ. එහෙම කෙරෙන ක්‍රමයකුත් නැහැ. එහෙම සංවිධානත් නැහැ. විදුලිය වගේ ප්‍රශ්නයක් ගත්තාම, මට බලය දෙන්න මම කරන හැටි පෙන්වන්නම්. මම පැයක්වත් ජනතාව කළුවරේ තියන්නේ නැහැ කියනවා.

එම කාරණා තාක්ෂණික කාරණා. විදුලිබල මණ්ඩලය දේශපාලනඥයෝ හසුරවන එකක් නොවේ. බොහොම ස්වාධීනව ඉන්ජිනේරුවන්, තාක්ෂණික නිලධාරීන් විසින් කරගෙනයන ආයතනයක්. අපි රජයක් විදියට කරන්නේ අවශ්‍ය සම්පත් සහ පහසුකම් ලබාදීම. එහි ඉන්ජිනේරු මහත්වරුන් පිළිබඳව මම විශ්වාසය තබා තිබෙනවා.

අපි බොහොම පැහැදිලිව කියන්න ඕන මේ ආණ්ඩුවේ අස්ථාවර බවක් නිර්මාණය කරන්න හැදුවට, එවැනි සිහින දැක්කට සමහර අයගේ කිසිසේත්ම ඒ සිහින කිසිසේත්ම සැබෑවෙන්නේ නැහැ. එවැනි දේවල් නිර්මාණය කරන්න පසුබිමක්, ඉඩකඩක් නැහැ. අද දවස ගත්විට රටේ අති බහුතරයක් ජනතාව නිදහස් රටක, ප්‍රජාතන්ත්‍රවාදයත් සමඟ රජය කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරනවා. අද වැඩිපුරම අන්තර්ජාලයේ නින්දා අපහාස තිබෙන්නේ මට. ඉස්සර සුදු වෑන්, අතුරුදන්වීම්, ගෙවල්, වාහන ගිනිගැනීම් සිදු වුණා. දැන් එහෙම දෙයක් නැහැ. ඕනෑම කෙනකුට පුළුවන් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න. මේ රට යහපත්, දියුණු රටක් කරන්න අපි අධිෂ්ඨානශීලීව ආත්ම විශ්වාසයෙන් රට සහ මහජනතාව වෙනුවෙන් මේ වගකීම ඉෂ්ට කරනවා.

Share on Google Plus