පුවත් වෙබ් අඩවි ලියාපදිංචිය මාධ්‍ය මර්දනයක් ද ?



පුවත් වෙබ් අඩවි ලියාපදිංචි නොකළ යුතු බව ශ්‍රී ලංක වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගම ප්‍රකාශ කරයි. එහි සභාපති ලසන්ත රුහුණගේ මහතා පවසන්නේ පසුගිය රාජපක්ෂ පාලනය ගෙන ආ පුවත් වෙබ් අඩවි ලියාපදිංචි රෙගුලාසි යහපාලන ආණ්ඩුව ද ක්‍රියාත්මක කරමින් සිටින බවයි. 

රුහුණගේ මහතා මේ බව ප්‍රකාශ කළේ දෙමළ මාධ්‍ය සංසදයේ වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

රජයේ නිවේදනවලට අනුව ලියාපදිංචි නොවන වෙබ් අඩවි නීත්‍යනුකූල නොවන වෙබ් අඩවි ලෙස පත්වන බවත් එම වෙබ් අඩවිවලට බාධා ඇතිවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක කරන වෙබ් මාධ්‍ය වාරණය කළ නොහැකි බවයි. 

රුහුණගේ මහතා මෙසේ ප්‍රකාශ කළද පසුගිය රජය සමයේ පුවත් වෙබ් අඩවි කිහිපයක් අවහිර කළ අතර නිළ හා නොනිළ වශයෙන් වෙබ් මාධ්‍ය ආයතනවලට හා ඒවා පවත්වාගෙන යන පුද්ගලයන්ට බාධාකිරීම් එල්ල විය. 

ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනවලට අනුව පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවන අතර එසේ ලියාපදිංචිය නොමැතිව පුවත් වෙබ් අඩවි පවත්වාගෙන යාම සඳහා කිසිදු බාධාවක් නොමැත.


ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසන්නේ රජයෙන් සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සෙසු ජනමාධ්‍යවේදීන්ට ලබාදෙන පහසුකම් වෙබ් මාධ්‍යයෙහි නිරත පුද්ගලයන්ට ද හිමිවිය යුතු බවයි. ඒ සඳහා වෙබ් අඩවි ලියාපදිංචිය පහසුවක් වනු ඇති බව ඔහු පෙන්වා දෙයි. 


Share on Google Plus